මිලියන 82 ක ගංජා තොගයක් නාවික හමුදා භාරයට

දෙසැම්බර් 07, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමඟ රුපියල් මිලියන 82ක් වටිනා ගංජා තොගයක් ඊයේ (දෙසැ 06) සොයා ගෙන ඇත.

උතුරු නාවික විධානය විසින් යොදවන ලද නාවික හමුදා යාත්‍රාව විසින් මුහුදේ තිබී කිලෝග්‍රෑම් 275 බරැති කේරළ ගංජා ගෝනි හතක් සොයා ගෙන ඇති අතර ඒවා පරීක්ෂා කිරීමේදී ගංජා මිටි 110ක් සොයාගත් බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන ලදි.

සැකකරුවන් දෙදෙනා ඩිංගි යත්‍රාවද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා අවධානය මේ සඳහා යොමු වීමත් සමග මෙම ගංජා තොගය ගොඩබිමට ගෙන ඒමට නොහැකි වීම හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් ගංජා තොගය මුහුදට දමන්නට ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාව සැක පළ කරයි.

ජාවාරම් කරන ලද ගංජා තොගයේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 82 ක් යැයි විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම සම්පූර්ණ මෙහෙයුම සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කළ අතර වයස අවුරුදු 25 ත් 37 ත් අතර වයස්වල පසුවන මාදගල් ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්, ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලවාලෙයි පොලිස් ස්ථානය වෙත භාර දුන් බව නාවික හමුදාව පවසයි.