නාවික හමුදාවේ හරිත විප්ලවය

දෙසැම්බර් 10, 2021

චතුර ගීතනාත් බණ්ඩාර
රජිත බස්නායක

ගඟේවාඩිය නාවික හමුදා කඳවුරේ කෙළවර කඩිමුඩියේ කඩියන් මෙන් වැඩ කරන නාවික භටයෝ පිරිසකි. කොට කලිසමින් සහ සුදු පැහැ සපත්තු පැලඳගත් ඔවුහු ඈඳි ගනිමින් කිසියම් සුපරික්ෂාකාරී කටයුත්තකය. එක් කෙළවරකින් පුත්තලම් කළපුවත් අනෙක් පසින් රතු දිගු පටු ගුරුපාරත් මැද පුළුල් සෙවණ සහිත නිස්කලංක බිම්කඩෙහි ඔවුන් ලහි ලහියේ සූදානම් වන්නේ තවත් එක් සංග්‍රාමයකටය. මුහුද මෙන්ම ගොඩබිම ද හොඳට හුරු මේ නාවිකයෝ මෙවර ක්‍රියාන්විතය සඳහා තෝරාගෙන ඇත්තේ පුත්තලම කළපුවයි. ඊයේ දිනයට යෙදී තිබුණු නාවික හමුදා දිනයට සමගාමීව ඔවුන් අද අරඹන සංග්‍රාමය හරිත සංග්‍රාමයකි. රට වට බැඳි රන් වැට ලෙස අභිමානයෙන් පිදුම් ලබන මේ සූර වීර නාවිකයෝ පුත්තලම කළපුවේ සැබෑ සොබාවත යළි නඟාසිටුවන්නට අද සිට මහා සංග්‍රාමය අරඹති.

ගඟේවාඩිය පමණක් නොව පුත්තලම කළපුව අසබඩ නාවික හමුදා කඳවුරු පහක් මේ සඳහා සූදානම් වූයේ මීට මාස හතරකට පමණ පෙරදීය. වත්මන් නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ අදහසක් අනුව වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතාගේ මඟපෙන්වීමෙන් සිදු වන මෙම ව්‍යාපෘතිය මඟින් පුත්තලම කළපුවේ කඩොලාන පැළ ලක්ෂයක් සිටුවීමේ ඉතිහාසගත ජාතික මෙහෙවර අද සිට ඇරඹෙයි.

මේ ජාතික කටයුත්ත සඳහා ගඟේවාඩිය, භරණ, තේරපුත්ත, විජය සහ කරුකපනේ නාවික හමුදා කඳවුරු පහක් පමණ තම උපරිම දායකත්වය දෙයි.

එකින් එක කඳවුරට නොදෙවෙනි වන කඩොලාන පැළ තවන් දැන් එකම හරිත පළසක් වන්ව දිස් වේ. කුඩා දිරන බෑගවල උඩට ඇදෙන සශ්‍රීක කඩොලාන මොටෙයියන් කළපු දියවරෙහි පහස ලැබීමට සූදානමිනි.

මෙම ව්‍යාපෘතිය මඟින් දිනකට පුත්තලම කළපුවෙහි පැළ දස දහසක් රෝපණය කිරීමට නියමිතය. ඒ යටතේ පුත්තලම කලපුවෙහි හෙක්ටයාර් 33ක ප්‍රමාණයක කඩොලාන වගාව සිදු වනු ඇත. එක් කඳවුරකින් කඩොලාන පැළ විසිපන්දහසක් බැගින් මේ වන විට විවිධ වර්ගයේ කඩොලාන පැළ එක් ලක්ෂ විසිපන්දහසකට මූලික වගාබිමෙහිදී ජීවය දී හමාරය. ඒ ජීවී කඩොලාන ළදරුවෝ අද සිට කරදිය මිශ්‍ර ලවණ ජලයේ තම ජීවිතය අරඹයි.

මෙම සුවිශේෂී සුවිශාල ව්‍යාපෘතිය කලක සිට ඉතා අවබෝධයකින් සැලසුම් කළ එකකි. පළමුව පුත්තලම කළපුවෙහි කඩොලාන සිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ නිවැරදි සමීක්ෂණයක් සිදු කරන ලදී. ඒ අනුව ශීඝ්‍රයෙන් වඳ වී යන සහ මානව ක්‍රියාකාරකම් නිසා වඳ කරනු ලබන කඩොලාන නැවත සිටුවීමේ පාරිසරික අවශ්‍යතාව පැන නැඟිණි. මේ කදිම පිළිතුරු සොයන්නේ ඒ වෙනුවෙනි. මෙය නාවික හමුදාව විසින් ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් සිදු කරනු ලබන සමාජ සද්කාරයකි. ඒ සද්කාරය ඔස්සේ රටට ලැබෙන ප්‍රතිලාභ බොහෝ වේ.

මේ පිළිබඳ අප සමඟ අදහස් එක් කරනු ලබන්නේ වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතායි.

" නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සංකල්පයක් අනුව අපි මේ කටයුත්ත වෙනුවෙන් බොහෝ කලක සිට සැලසුම් ක්‍රියාත්මක කළා. පළමුවෙන්ම පුත්තලම් කළපුවේ කඩොලාන අවශ්‍යතාව පිළිබඳ අප සහ විද්වතුන් එක්ව සාකච්ඡා කළා. ඒ අධ්‍යයනයට අනුව අපි තීරණට කළා හැත්තෑ එක් වැනි නාවික හමුදා දිනයට සමගාමීව කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට. ඒ සඳහා හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සමඟ අපි සාකච්ඡා කළා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා සහ වගකිවයුතු බලධාරින් සමඟ අපි සාකච්ඡා කළා. ඉන් පසුව අපි අපේ ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙය ඉතාමත් සංවිධානාත්මකව වගේම සූක්ෂමව කළ යුතු කටයුත්තක්. පුත්තලම කළපුවේ තැනින් තැනට සශ්‍රීකව වැඩෙන කඩොලාන ප්‍රභේදයන් වෙනස්. එක් එක් තැනක තිබෙන ලවණ සාන්ද්‍රණය අනුව වැඩෙන කඩොලාන විවිධත්වයක් ගන්නවා. ඒ නිසාම අපි අපේ කඳවුරුවලට ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික කඩොලාන පැළ තවාන් පවත්වා ගෙන යන්නට උපදෙස් සහ තාක්ෂණික දැනුම දුන්නා. ඒ අනුව කඩොලාන බීජ ගෙන තවන් පවත්වාගෙන යෑම ඇරඹුවා. ඒ කටයුතු සඳහා අපේ නාවිකයන් වෘත්තීයට එහා ගිය විශාල කැපවීමක් සිදු කරමින් සිටිනවා."

ඔහුගේ කතාව සැබෑවකි. අප නිරීක්ෂණය කළ සියලු නාවික හමුදා කඳවුරු බිම් තුළ දැන් විශාල සශ්‍රීක පැළ තවාන් දක්නට ලැබේ. එය මේ ව්‍යාපෘතියෙහි පළමු සාර්ථක පියවරට කදිම උදාහරණයකි.

අපට අවශ්‍ය වුණේ නාවික හමුදාවේ රාජකාරියට අමතරව මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න. මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය නඟාසිටුවාගන්නේ පුත්තලම කළපුව ආශ්‍රිතව. මේ සඳහා කඩොලාන දෙන දායකත්වය ඉතා විශාල එකක්. ඒ වගේම අපි මේ දිනවල සංචාරක ව්‍යාපාරය පිළිබඳ වැඩිපුර කතා බහ කරනු ලබනවා. පුත්තලම කළපුව දෙස් විදෙස් සංචාරකයනගේ කදිම සංචාරක ගමනාන්තයක්. මේ කළපුවේ දූපත් තිස් ගණනක් තිබෙනවා. ඒ සියල්ල අති සුන්දර ස්ථාන. මෙයින් දහ අටක් විතර මේ වන විට ප්‍රයෝජනයට ගනු ලබනවා. කඩොලාන වගාව මඟින් මේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නට අපට පුළුවන්. ඒ හරහා සෘජුව සංචාරක කර්මාන්තය දියුණු කරන්නට හැකියාව ලැබෙනවා. මේ ක්‍රියාවලිය ඔස්සේ වක්‍රව ප්‍රදේශයේ ආර්ථිකය දියුණු කරන්නට හැකියාව ලැබේවි.

ඒ වගේමයි මේ මිනිස්සු යම් යම් ක්‍රියාකාරකම් සඳහා වසරකට විශාල වශයෙන් කඩොලාන විනාශ කරනවා. නමුත් ඉබේ පැළවෙන ගසක් ඇරෙන්නට කඩොලාන වගාවක් සිදු වෙන්නෙ නැහැ. ඒ සඳහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නෙ. කඩොලාන පරිසරයේ චමත්කාරය රකිනවා සේම පරිසරය රැකීමට මහෝපකාරී වන බව අපි දන්නවා. පස රැකීමට මහෝපකාරී වෙන කඩොලාන කළපුවේ ජලජ ජීවීන්ගේ ජීවන චක්‍රය පවත්වාගෙන යෑමටත් ඉතා වැදගත්. කඩොලාන වගාව ඔස්සේ මත්ස්‍යයන් බෝවීම ඉතාමත් වැඩි වෙනවා. මේ කළපුවේ ධීවරයන් බොහොමයක් මාළු ඇල්ලීමෙන්ම ජීවිතය රැකගන්නවා. මේ සියලු කාරණා එක්ක තමයි අපි ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. අපේ ව්‍යාපෘතියෙන් ප්‍රදේශයට වගේම රටටත් විශාල සේවයක් සිදුවෙනවා.

එදා පුත්තලම කළපුවේ දක්නට තිබුණු කඩොලාන ප්‍රමාණය අද දක්නට නැහැ. පරිසරය පිළිබඳ නොදන්නා නොවැටහෙන පිරිස් විසින් තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා විශාල කඩොලාන ප්‍රමාණයක් මේ වන විට විනාශ කොට ඇත. කලින් කලට සිදු වූ ඒ විනාශය නොදැනුවත්වම විශාල එකක් බවට පත්ව තිබේ. මෙම අනගි ව්‍යාපෘතිය මඟින් නැවත පුත්තලම කළපු දියවරෙහි කඩොලාන දිදුලනු ඇත. නමුත් මෙය නඩත්තු කළ යුතුම කටයුත්තකි.අපේ පැනය ඒ පිළිබඳයි.

" අපි කඩොලාන පැළ ලක්ෂයක ව්‍යාපෘතියක් තමයි කරන්නේ. නමුත් අපි පැළ එක්ලක්ෂ විසිපන්දහසක් සිටුවන්නට සැලසුම් කොට තිබෙනවා. මේ පැළ ප්‍රමිතියෙන් උසස් ඒවා. කඩොලාන පැළයක කොළ දෙකක් ආවම තමා අපි සිටුවන්නේ. දැන් අපි ළඟ තිබෙන පැළ හැම එකක්ම ඒ තත්ත්වයේ තිබෙන්නෙ. මේ පැළ සිටුවල ඒ පැළ රැක ගැනීමටත් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද එහෙම නොවුණොත් මේ ව්‍යාපෘතිය ඵලදායී වෙන්නෙ නෑ. අපේ නාවිකයන් ඒ සඳහා කැපවෙනවා. ඒ වගේම කඩොලාන පිළිබඳ වැදගත්කම් ගැන ප්‍රජාව දැනුම්වත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ද අපි කර ගෙන යනවා. ඒ හරහා සාමාන්‍ය ජනතාවගේ දායකත්වය මේ සඳහා යොදා ගන්නවා. සරලව කිව්වොත් මේ කඩොලාන පැළ සිටුවීමෙන් වාසිය ලැබෙන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට. ඒක ඔවුන්ට තේරුම් කරදීමෙන් මේ ව්‍යාපෘතිය තවත් සාර්ථක කරගන්නට අපට පුළුවන් වේවි.

මේ ව්‍යාපෘතිය සෑම ආකාරයකින්ම ගත් කල රටට වැඩදායී එකකි.ඒ හරහා පරිසර චමත්කාරය රැකෙන අතර, ආර්ථිකය ද ශක්තිමත් වේ. අද සිට මේ ව්‍යාපෘතිය ඇරඹෙන අතර, දින කිහිපයක් තුළ ප්‍රමිතිගත ආකාරයෙන් කඩොලාන පැළ සිටුවීම නිමා කරනු ලැබේ. ඉන් පසුව ඇරඹෙන්නේ කඩොලාන ශාක රැක බලා ගැනීමේ අවධියයි.

මේ මහඟු කටයුත්ත සඳහා කඩොලාන පැළ වගා කළ කඳවුරු අතරින් අප නිරීක්ෂණයක යෙදෙන්නේ ගඟේවාඩිය නාවික හමුදා කඳවුරු කඩොලාන වගා බිමයි. මේ වන විට එහි කඩොලාන පැළ තිස්දහසකට අධික ප්‍රමාණයක් ඔවුන් විසින් සකසා අවසන්ය. ගඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරී කමාන්ඩර් ගයාන් වික්‍රමසූරිය මහතා පවසන පරිදි එය ජාතික කටයුත්තකට නාවික හමුදාවෙන් සැපයෙන දායකත්වයයි.

" අපේ සියලුම නාවික හමුදා කඳවුරුවල සියලු දෙනා මේ කටයුතු වෙනුවෙන් විශාල දායකත්වයක් දුන්නා. අපි හැමදෙනාම මේ කටයුතු වෙනුවෙන් කැපවෙන්නේ ඉතා කැමැත්තෙන්. මේ ඔස්සේ සමාජයට විශාල සේවයක් වෙනවා. ඒ වගේම මේ අලංකාර පරිසර පද්ධතීන් රැක ගැනීමට අපට හැකි දායකත්වය දෙන්නටත් පුළුවන්. අපි වගා කරන්නේ ඒ ඒ ප්‍රදේශයට ආවේණික කඩොලාන විශේෂයන්. එහිදී මුලින්ම සිදු කරන්නේ මේ කඩොලානවල බීජ වර්ග සොයා ගැනීම. ඉන් පසුව ප්‍රමිතිගත ක්‍රමවේදය ඔස්සේ අපි ඒවා පැළ කර ගන්නවා. ඒ පැළ තමා තවන් ක්‍රමයට සකසා ගන්නේ. මේ පැළ කොළ දෙකක් එනකල් අපි සිටුවන්නට කටයුතු කරන්නෙ නැහැ. දැන් වෙද්දී මේ පැළ ඉතාමත් සශ්‍රීක තත්ත්වයේ තිබෙන්නෙ. ඒව මේ කළපුව අලංකාර කරමින් නැඟී සිටිනවා දැකීම තමා අපේ බලාපොරොත්තුව. ඒ කැපවීමේ නියම සතුට එදාට විඳින්නට අපි හැමෝටම හැකි වේවි. ඒ වෙනුවෙන් තමාට හැකි උපරිම අයුරින් කැපවෙන්න කියල සියලු දෙනාගෙන්ම ඉල්ලීමකුත් කරන්න කැමතියි.

කමාන්ඩර් ගයාන් වික්‍රමසූරිය පවසන දේ අප විසින් ම ඉටු කළ යුත්තකි. පුත්තලම කළපුවට පැමිණෙන බොහෝ සංචාරකයන් මේ සුනිමල කළපු දියවර මතට ප්ලාස්ටික් සහ පොලිතීන් එක් කරනු ලබන්නේ කිසිදු හැලහොල්මනක් නොමැතිවය. එසේම ජාවාරම්කරුවන් හොර බඩු ප්‍රවාහයන සඳහා නව මාවත් සැලසීම සඳහා විශාල වශයෙන් කඩොලාන විනාශ කරනු ලබන්නේ කිසිවකුටත් නොදැනෙන පරිද්දෙනි. එසේම කළපුවේ සිදු වන විවිධ ක්‍රියාකාරකම් නිසා ද කඩොලාන විශාල වශයෙන් විනාශයට බඳුන් වේ. නාවික හමුදාව මේ විසඳුමක් සොයන්නේ ඒ ප්‍රශ්නය නිරාකරණය කොට පුත්තලම කලපුව හරිත වර්ණයෙන් අලංකෘත කිරීම උදෙසාමය. ඒ ජාතික වගකීම ඉටු කරන ඔවුනට අපි සියලු දෙනාම එක්ව දායකත්වය සැපයිය යුත්තේ මේ හෙට රටට අවැසි පරිසර පද්ධතියක් නඟාසිටුවීම පිණිස ගනු ලබන උදාරතර වෙහෙසක් නිසාමය.

ඡායාරූප - සමන්ත වීරසිරි

උපුටා ගැනීම- www.dinamina.lk