ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තෙල් හා රසායනික කාන්දු ප්‍රතිචාරය පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කරයි

දෙසැම්බර් 10, 2021

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සාමාජිකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ ‘තෙල් සහ රසායනික කාන්දු ප්‍රතිචාරය’ පිළිබඳ දෙදින සම්බන්ධීකරණ රැස්වීමක් දෙසැම්බර් මස 07 සහ 08 දෙදින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී සංවිධානය කරන ලදී.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ තෙල් හා රසායනික කාන්දුවීම්වලදී ප්‍රතිචාර දැක්වීම සහ සමුද්‍රීය අනතුරු සිදුවීම් හා සම්බන්ධ ගැටළු පිළිබඳව බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව, මෙම පාර්ශවකරුවන්ගේ හැකියාවන් සහ සීමාවන් අනුව සමුද්‍රීය තෙල් කාන්දුවීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී ඔවුන්ගේ භූමිකාවන් සහ වගකීම් බෙදා ගන්නා ලදී.

සමුද්‍ර පරිසරයේ තෙල් කාන්දුවීම් වලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රමාණවත් තෙල් කාන්දු ප්‍රතිචාර හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා රජය සහ අනෙකුත් ආයතන අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා 2022 පළමු කාර්තුවේදී වැඩමුළුවක් පැවැත්වීමට එක්සත් ජනපද නියෝජිත පිරිස එකඟ වූ බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එක්සත් ජනපද නියෝජිත පිරිසට ඉංජිනේරු සැලසුම් නිලධාරී ව්‍යාපෘති කළමනාකරු ලුතිනන් කමාන්ඩර් ස්ටෙෆන් වුඩ්හැම්, සමුද්‍ර සහ පාරිසරික ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ කළමනාකරු ක්වින්ටන් ෆෝඩ් මහතා සහ පාරිසරික ආරක්‍ෂණ වැඩසටහන් කළමනාකරු ක්‍රිස්ටෝපර් ෂෝල්ස් මහතා අයත් වුහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය, වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.