උදාකරගත් සාමයට කැළැලක් ඇතිකිරීමට ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම් කටයුතු කරයි - ආරක්‍ෂක ලේකම්

දෙසැම්බර් 11, 2021
  • මිත්‍ර ජාතීන් අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තීරණාත්මක සාධකයකි.

ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදී උවදුර සම්පූර්ණයෙන්ම පලවා හැරීමේ සිට දශකයකට වැඩි කාලයකට පසු, ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී පාර්ශවයන්, අප වෙහෙස මහන්සි වී උදාකරගත් සාමය කෙලෙසීමටත්, ජනවාර්ගික කණ්ඩායම් අතර අවිශ්වාසයක් සහ භේදයක් ඇති කිරීමටත් කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (දෙසැම්බර් 10) දින පැවසීය.

එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට එරෙහිව පැනනගින ව්‍යසනයන් වැලැක්වීම සඳහා, ඇතිවන තර්ජන පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීම සහ හානිකර ප්‍රතිවිපාකවලට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග කල්තියාම ආරම්භ කිරීම අපගේ පරම වගකීමක් බව ඔහු සඳහන් කළේය.

ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රියාකාරී වන දේශපාලන හා ආගමික රැඩිකල්කරණය සහ මෑත කාලීන ප්‍රචණ්ඩත්වය පිලිබඳ උපුටා දක්වමින් ආරක්‍ෂක ලේකම් පැවසුයේ, සහයෝගීතාවයෙන් කටයුතු කරන මිත්‍ර ජාතීන්ගේ බුද්ධි අංශ අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම එවැනි විපත්වලට එරෙහිව සටන් කිරීමේ තීරණාත්මක සාධකයක් බවට පත්වන බවයි.

කාලීනව ඇතිවිය හැකි තර්ජන තක්සේරු කිරීම සඳහා භූ දේශපාලන පරිසරය පිළිබඳ නිරන්තර හා අඛණ්ඩ තක්සේරුව සහ විශ්ලේෂණය අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 15 පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය ඊයේ දින කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවති අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් අමතමින් ආරක්‍ෂක ලේකම් මෙම අදහස් පළ කළේය.

සම්ප්‍රදායන්ට අනුකූලව පොල්තෙල් පහන දැල්වීම හා මියගිය රණවිරුවන්ට උපහාරයක් ලෙස මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව උත්සවය ආරම්භ විය.

පාඨමාලාව සාර්ථකව හදාරන ලද උපාධිධාරීන් තම උපාධිය ලබා ගත් අතර විශේෂ සම්මාන ද පිරිනමන ලදී. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික සඟරාව (The Owlet) මෙම අවස්ථාවට පැමිණි අමුත්තන් අතර බෙදා දෙන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ තරුණ නිලධාරීන් 127 දෙනෙකු සහ බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගාලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන විදේශ රටවල් 10 ක නිලධාරීන් 18 දෙනෙකුගෙන්ද සමන්විත සම්පුර්ණ නිලධාරීන් 145 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය සිදුකරන ලදී.

වසරේ හොඳම පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් පිරිනමනු ලබන ‘Golden Pen’ සම්මානය ජෙනරල් ගුණරත්න විසින් වින්ග් කමාන්ඩර් එච්. කේ. වයි. යු. සෝමවංශ වෙත ප්‍රදානය කරන ලදී.

රටවල් අතර යහපත් බුද්ධිමය සහයෝගීතාවයක අවශ්‍යතාවය පිළිබඳව සඳහන් කරමින් ජෙනරල් ගුණරත්න තවදුරටත් කියා සිටියේ, අද උපාධිය ලබා ගන්නා මිත්‍ර රටවල හමුදා නිලධාරීන්, බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම පිළිබඳ සංකල්පය තම රටවලට ගෙන යනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉල්ලීම වූ බෙදුම්වාදය පිළිබඳව සඳහන් කරමින් ඔහු කියා සිටියේ, එල්.ටී.ටී.ඊ. හිතවාදී කොටස් විදේශයන්හි සිටීම සහ රහසිගතව ඔවුන්ට සහය දක්වන දේශීය කොටස් සිටීම සැලකිය යුතු තර්ජනයක් ඇති කරන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් චෝදනාවල මෑත කාලීන වර්ධනය සමඟ එය මනාව පැහැදිලි වූ බවත්ය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ප්‍රතීතනය කිරීම සහ වැදගත් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශාස්ත්‍රපති උපාධි ප්‍රදානය පිළිබඳව සඳහන් කළ ඔහු කියා සිටියේ, උසස් අධ්‍යාපනික පිළිගැනීමක් සහිතව වෘත්තිමය සංවර්ධනය ලඟා කර ගැනීමට පාඨමාලාව හදාරන නිලධාරීන්ට ප්‍රයෝජනවත් අවස්ථාවක් ලැබෙනු ඇති බවය.

මෙම දේශනය අතරතුර ජෙනරල් ගුණරත්න, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ හිටපු සහ වත්මන් සේනාවිධායක, ප්‍රධාන උපදේශකයින් සහ උපදේශක කාර්ය මණ්ඩලය වෙත ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් සිය ස්තූතිය පළ කළේය.

හිටපු උපදේශක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ඔහු මෙහිදී සියලු නිලධාරීන් හට ඔවුන්ගේ අනාගත ජයග්‍රහණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සිය සුබ පැතුම් එක් කළේය.

කොරෝනා වසංගතය මධ්‍යයේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ එහි කාර්ය මණ්ඩලය මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ කාර්ය මණ්ඩලය ද සිදුකරන විශාල මෙහෙය ගැන ආරක්‍ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව එක් කළේය.

නාවික හා ගුවන් හමුදාපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ හිටපු සේනාවිධායකවරුන්, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශකවරුන් සහ විදේශීය සිසුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සම්මාන