ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රධානි සහ
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානි අතර හමුවක්

දෙසැම්බර් 16, 2021

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුගා මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක පසුගියදා (දෙසැම්බර් 14) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්‍ර රක්ෂා හිදී හමුවිය.

මෙම රැස්වීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ එහි ප්‍රධානියා, නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සඳහා සහය ලබාදීම ඇතුළු සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රියර් අද්මිරාල් ඒකනායක ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙත සිය ස්තුතිය පුදකරමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා ඔවුන් සහය ලබාදී ඇති බව සඳහන් කළේය.

මෑතකාලීන සමුද්‍ර ව්‍යසනවලදී එම ආයතනය විසින් පරිත්‍යාග කරන ලද වෙරලාරක්ෂක නෞකාවල දායකත්වය ගැන සඳහන් කරමින්, බාහිර ගිනි නිවීමේ හැකියාවෙන් හා ඉහළ ඔරොත්තුදීමේ හැකියාවෙන් යුත් පරිසර දූෂණ පාලන නෞකාවක් ලබා ගැනීම සඳහා යෝජිත සැලැස්ම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරන බව පැවසීය.

තවද නව සාමාන්‍ය තත්වය යටතේ පුහුණුවීම් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කල බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එම ආයතනය ලබා දුන් සහය අගය කරමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පැමිණි උසස් නිලධාරියා වෙත සමරු තිළිණයක් පිරිනැමීමද මෙහිදී සිදුවිය.