ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින්
දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

දෙසැම්බර් 16, 2021
  • විදේශ ලේකම් "ජාතික ආරක්‍ෂාව සහ විදේශ ප්‍රතිපත්ති අන්තර් ඡේදනය" ගැන කතා කරයි.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ දේශනය බත්තරමුල්ල සුහුරුපායෙදී අද (දෙසැ 16) දින පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහභාගි විය.

විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ විසින් “ජාතික ආරක්‍ෂාව සහ විදේශ ප්‍රතිපත්ති අතර සම්බන්ධතාව ” පිළිබඳව දේශනය සිදු කරන ලදි.

කීර්තිමත් විද්වතෙකු සහ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන විදේශ ලේකම් අද්මිරාල් කොළඹගේ මහතා සිය දේශනය ආරම්භ කළේ එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී දිවංගත ජෙනරාල්වරයා සමඟ තමා ලැබූ පෞද්ගලික අත්දැකීම් සිහිපත් කරමිනි. ශ්‍රී ලංකාවේ නූතන යුගයේ බිහි වු විශිෂ්ටතම හමුදා නිලධාරින් අතුරින් ලුතිනන් ජෙනරල් කොබ්බෑකඩුව සුවිශේෂී නිලධාරියෙකු සහ සැබෑ මහත්මයෙකු බව ඔහුගේ මතයයි.

මෙම අනුස්මරණ දේශනය, 1992 දී ත්‍රස්තවාදී යුද්ධයේදී බිම් බෝම්බ පිපිරීමකින් මියගිය දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට උපහාර පිණිස ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දේශන මාලාවේ දේශනයකි.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය යනු රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි.

මෙම ආයතනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වැඩසටහන් සංවිධානය කරන අතර ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා ජාතික ආරක්‍ෂාව පිළිබඳ පුළුල් පර්යේෂණ සහ විශ්ලේෂණයන් සිදු කරයි.

දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ බිරිඳ වන ලලිනි කොබ්බෑකඩුව මහත්මිය විසින් ඔහුගේ පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ප්‍රභූන් විසින් සම්ප්‍රදායික තෙල් පහන් දල්වා උත්සවය ආරම්භ කරන ලදී.

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සන්නිවේදන හා ප්‍රකාශන අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන විසින් දේශකවරයා හඳුන්වා දීමේ දේශනය කරන ලදි.

දේශනය ආරම්භ කිරීමට පෙර ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න විසින් අද්මිරාල් (මහාචාර්ය) කොළඹගේ වෙත කථික පදක්කම පිරිනැමීය.

උත්සවයේදී මියගිය සියලුම විරුවන් සිහිකර මොහොතක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

මෙම උත්සවයට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සාමාජිකයින් සහ දිවංගත ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියහ.