මත් ද්‍රව්‍යවලින් හෝ අනවශ්‍ය ක්‍රියාවලින් ඔබේ ජීවිත විනාශ කර ගන්න එපා – ආරක්‍ෂක ලේකම් සිසුන්ගෙන් ඉල්ලයි

දෙසැම්බර් 17, 2021

මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය අවභාවිතයන් හා සබැඳි අනවශ්‍ය සම්බන්ධතා හේතුවෙන් විනාශයට පත් නොවන්නට අපේ දරුවන්හට නිසි මඟ පෙන්විය යුතු බවටත්, පසුගිය මාසය තුළ පමණක් එවැනි සිද්ධීන් 70කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත්, තවත් එවැනි සිද්ධීන් 3000කට අධික ප්‍රමාණයක් විමර්ශනය කිරීමට නියමිතව ඇති බවටත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

මේ සම්බන්ධයෙන් කුඩා දරුවන් සහ තරුණ තරුණියන් දැනුවත් කිරීමට අදාළ උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයන් සඳහා අද (දෙසැ 17) දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

පාසල් සිසුන් 1000කට ආසන්න සංඛ්‍යාවකගේ නිර්මාණ දායකත්‍වයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චිත්‍ර හා රචනා තරඟාවලිය, ‘ශික්ෂා‘ පාසල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන - 2021ට සමගාමීව මෙම සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම්වරයා පිළිගනු ලැබුවාය.

මෙහි පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ‘සෞභාග්‍යමත් රටක් - සුරක්‍ෂිත දරු පරපුරක්’යන තේමාව යටතේ දීපව්‍යාප්ත පාසල්වල සිසු සිසුවියන්ගේ දායකත්වයෙන් යුත් නිර්මාණවලින් සමන්විත ප්‍රදර්ශනය නැරඹූ අතර,මෙහිදී ඔහු දරුවන් සමඟ සුහද කථා බහක නියැලෙමින් අදහස් හුවමාරු කර ගත්තේය.

අනතුරුව, චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් සහ සමරු තිළිණ ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිදුවිය.

පැමිණ සිටි සිසුන් සහ නිලධාරීන් අමතමින් සාමය, සතුට සහ නිදහස පිරුණු තම ළමා වියේ අත්දැකීම් සිහිපත් කළ ජෙනරාල් කමල් ගුණරත්න, අද ලෝකයේ අධ්‍යාපනයට ඇති තරඟකාරීත්වය නිසා වත්මන් දරුවන්ට එවන් අත්දැකීම් සහ සුදුසු පරිසරයක් නොලැබීම මෙන්ම වත්මන් දරුවන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ට තම ජීවිතය ගෙන යාමට ඇති පරිසරය පිළිබඳව ද අදහස් පළ කළේය.

මත්ද්‍රව්‍යවලින් තොර යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා ළමුන්ට උපදෙස් මාලාවක් ද ලබාදෙමින් ආරක්‍ෂක ලේකම්වරයා එම දරුවන් විසින් පෙන්නුම් කරන ලද කලා කුසලතාවන් බෙහෙවින් අගය කළේය.

මෙම අවස්ථාවේදී, ළමුන්ගේ චිත්‍ර සහ රචනා එකතුකර නිමවන ලද පොතෙහි මුල් පිටපත ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වීම ද සිදුකරන ලද අතර, එය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙබ් අඩවියේ ද එළිදැක්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.යූ. ප්‍රේමතිලක, රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කෂුනි ලියනගේ, ජාතික පුස්තකාලයේ සභාපති සෝනාල ගුණවර්ධන, සහකාර ලේකම් මල්ෂා මුණසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත විජේසේකර, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති චම්පිකා අමරසේකර සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.