ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නව නිලධාරීන් 316 දෙනෙකු
ජාතියට දායාද කරයි

දෙසැම්බර් 19, 2021

අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 19) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති විසිර යාමේ පෙළපාලියේදී කෙඩෙට් නිලධාරීන් 316 දෙනෙක් නව නිලධාරීන් ලෙස අධිකාරියට පත්කරන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් අධ්‍යාපනික ආයතනයක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 96 වැනි විසිර යාමේ උත්සවය හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පැවැති අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා ශ්‍රී ලංකා යුද්ධ  හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියංගොඩ විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උණුසුම් ලෙස පිළිගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ කළේය.

මියගිය රණවිරුවන්ගේ අමිල කැපකිරීම් සිහිපත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

දෙවන ලුතිනන්වරුන් ලෙස අධිකාරියට පත් කරන ලද නිලධාරින් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ පාඨමාලා අංක 89හි කෙඩෙට් නිලධාරීන් 73ක්, පාඨමාලා අංක 90හි කෙඩෙට් නිලධාරීන් 13ක්, පාඨමාලා අංක 89-බී (කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීම් 32, 33 සහ 35) හි කෙඩෙට් නිලධාරීන් 150ක්, පාඨමාලා අංක 18 (ඒ)හි එක් කාන්තා කෙඩෙට් නිලධාරිනියක්, පාඨමාලා අංක 61හි ස්වේච්ඡා කෙඩෙට් නිලධාරින් 60ක් සහ පාඨමාලා අංක 17හි ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනියන්  15ක් ඇතුලත් වන බව යුද හමුදාව පවසයි.

අධිකාරියට පත් නව නිලධාරීන් විසින් මෙම වර්ණවත් පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආචාරය පුද කරන ලදි.

එම නව නිලධාරීන් ජාතියේ සැබෑ ආරක්‍ෂකයින් ලෙස ජාතිය ගොඩනැගීමේ අභියෝග සහ කාර්යයන් සඳහා කැපවූ දූ පුතුන් ලෙස සේවය කරනු ඇත.

ජනාධිපති ආර්යාව අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, විශ්‍රාමික හමුදා සෙබලුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූ බව යුද හමුදාව පැවසීය.