ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් කඩඉමක් සනිටුහන් කරමින් ‘ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය’ විවෘත කෙරේ

දෙසැම්බර් 20, 2021

දිර්ඝ කාලයක් සිට රට තුළ පැවති අවශ්‍යතාවයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු කැරන් ඇන්ඩෲස් සහ වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු. චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී අද (දෙසැ.20) විවෘත කරන ලදි.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ තාක්ෂණික සහාය සහ ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් (ඇමරිකානු ඩොලර් මිලියන 5 ක) ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා ඒකාබද්ධ දේශසීමා කළමනාකරණ උපාය මාර්ගික සැලැස්මේ කොටසක් ලෙස ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය පිහිටුවන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සෘජුවම නව බුද්ධි වේදිකාවක් සඳහා පහසුකම් සැලසීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය පිහිටුවන ලද අතර එමගින් නීති විරෝධී ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූල සංචාර සහ වෙළඳාම සක්‍රීය කිරීම සඳහා ඔවුන්ගේ සාමූහික බුද්ධි තොරතුරු, පද්ධති, සම්පත් සහ තත්‍ය කාලීන දත්ත බෙදා ගැනීමට ශ්‍රී ලංකාවේ දේශසීමා කළමනාකරණ ආයතනවලට ඉඩ සලසයි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හා රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහකාර කොමසාරිස් නයිජල් රයන් සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශයේ වැඩබලන පළමු සහකාර ලේකම් ඇඩම් මේයර් යන මහත්වරු ද සමාරම්භක උත්සවයට සහභාගි විය.

ගරු අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ සහ ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු කැරන් ඇන්ඩෲස් යන මහත්වරු විසින් සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් සමරු ඵලකයක් විවෘත කරන ලදි.

දේශසීමා හරහා ගමන් කරන පුද්ගලයින් සහ භාණ්ඩ සංඛ්‍යාව වැඩි වීමත් සමඟින්, දේශසීමා අවදානම් හඳුනා ගැනීම වැඩි දියුණු කිරීම සඳහා සහ බහු පද්ධති ක්‍රියාත්මක කිරීමේදී දරන පිරිවැය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස රටවල් ඒකාබද්ධ දේශසීමා කළමනාකරණ පද්ධති වෙත යොමු වී ඇත.
 
ඒකාබද්ධ දේශසීමා කළමනාකරණය යනු දේශසීමා ආයතන අතර වැඩි සම්බන්ධීකරණයක් සහ සහයෝගීතාවයක් සහිත සංකල්පයකි.

දිවයිනේ දේශසීමා හා සම්බන්ධ කටයුතු කෙරෙන ආයතන 11 ක් මෙහි පාර්ශවකරුවන් වන අතර ශක්තිමත් අන්තර් නියෝජිතායතන සහයෝගීතාවයෙන් යුක්තව දේශසීමා කළමනාකරණය සහතික කිරීම සඳහා එය පැය 24 පුරාක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් විසින් ගරු කැරන් ඇන්ඩෲස් සහ ගරු චමල් රාජපක්ෂ අමාත්‍යවරුන් වෙත සමරු තිළිණ ප්‍රධානයක් ද සිදු කෙරිනි.

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් අමන්ඩා ජුවෙල්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආගමන හා විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක ජෙනරාල් බන්දුල හරිස්චන්ද්‍ර, සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ දූත මණ්ඩල ප්‍රධානී සරත් ඩෑෂ්, ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රජිත් ඇල්විටිගල, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චතුර ද සිල්වා, සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ සංක්‍රමණ කළමනාකරණ ප්‍රධානී (ශ්‍රී ලංකා) ශාන්ත කුලසේකර සහ ජාතික වැඩසටහන් නිලධාරී/ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථාන සම්බන්ධීකරණ තරිඳු ජයවර්ධන ද සම්භාවනීය ආරාධිතයන් අතර වූහ.