ගුවන් හමුදාවෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ගුවන් යානයක්

දෙසැම්බර් 21, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිග් 27 වර්ගයේ ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගුවන් යානය මොරටුව විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා වෙත මෙම යානය සඳුදා (දෙසැම්බර් 20) දින පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දී ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශ්වවිද්‍යාලයේ ගගන ඉංජිනේරු උපාධි වැඩසටහන ආරම්භ කිරීම සඳහා විශාල සහයෝගයක් ලබා දී ඇති අතර, අතීතයේ දී ජාතික අවශ්‍යතා ඉටු කරන ලද මෙම ගුවන් යානා, ගුවන් ඉංජිනේරුවන් සඳහා වටිනා අධ්‍යාපනික ආධාරකයක් ලෙස ප්‍රයෝජනයට ගනු ඇති බව ගුවන් හමුදාව පවසයි.

විශේෂයෙන්ම "ලිහිණියා" දේශීය නියමුවන් රහිත ගුවන් යානය සංවර්ධනය කිරීම වැනි පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගුවන් හමුදාව සහ විශ්වවිද්‍යාල නිලධාරීන් එකඟ වී ඇති බව ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල නිලධාරීන් ද එක්ව සිටියහ.