ඕනෑම අවස්ථාවක එන සුනාමියකට අපි සූදානම් ද?

දෙසැම්බර් 24, 2021

  උපාලි කරුණාරත්න

අපේ රටට 2004 වර්ෂයේ බලපෑ සුනාමි ව්‍යසනය අප කාටත් අමතක නොවන සිදුවීමකි. එයින් මෙරට බාල, තරුණ, වැඩිහිටි, මහලු ජනතාව 35,000කට අධික පිරිසක් මියගිය අතර, පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් අතුරුදහන් වූහ. බිලියන ගණනක් වටිනා දේපොළ ද අහිමි වූ අතර, 2005 අංක 15 / 1975/ 715/ 001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුව 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 දින 'ජාතික සුරක්ෂිත දිනය' වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. මෙවරද එය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, එම දිනය සැමරීම, මෙරටට සුනාමියක් යළි පැමිණියහොත් ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග, රට තුළ ඇති වන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම, අාපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇසුරෙන් සකසන ලද ලිපියකි.

පසුගිය වර්ෂයේ කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අප ජාතික සුරක්ෂිත දිනය පැවැත්වූවා. මෙවරද සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ අනුව මෙම 26 දින ජාතික සුරක්ෂිත දිනය සීමිත ජනතා සහභාගීත්වයෙන් රට පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අබියසදී රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ජනතා සහභාගීත්වයෙන් පෙරවරු 8.30 සිට 10.30 දක්වා පැවැත්වෙනවා. සුනාමි උවදුරෙන් සහ නායයෑම්, ගංවතුර, දියේ ගිලීම්, ගස් කඩා වැටීම්, ගිනි ගැනීම්, කඳු කඩා වැටීම් ආදී ආපදාවලින් මියගිය සියලු දෙනා මෙහිදී සිහිපත් කරනවා.

රට පුරා මෙම දිනය සැමරීමේදී සුනාමි බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 14 තුළ එම කටයුත්ත ප්‍රමුඛව සිදු වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මෙම දිනය සමරන්නෙ අපදාවන් පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින්. එහිදී එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ගෙන් ගෙට ගොස් ආපදා තත්ත්වයන් පෙර හඳුනා ගැනීම, ගත යුතු ක්‍රියා මාර්ග ගැන ජනතාව දැනුම්වත් කරනවා. අත් පත්‍රිකා ජනතාවට දෙනවා. ඒ වගේම ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක වෙනවා. මෙම සෑම කටයුත්තකදීම ආගමික වතාවත්වලටද මුල්තැන දෙනවා. ආපදාවලින් මියගිය පිරිස් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක්ද එදින පවත්වනවා.

ජනතාව දැනුම්වත් කිරීම

අපේ රටට නැවත සුනාමියක් පැමිණෙනවා නම් අක්‍රන්, අන්දමන්, සුමාත්‍රා ප්‍රදේශවලින් එය හටගත හැකියි. මක්‍රන් ප්‍රදේශය අරාබි මුහුද ප්‍රදේශයේ පවතින නිසා එයින් අපට ප්‍රශ්නයක් නැහැ. අපේ රටට සුනාමියක් හට ගැනීමට ඉහත ස්ථානවලින් රිච්ටර් මාපකයේ 8.5කට වැඩි අගයකින් යුත් භූමි කම්පා තත්ත්වයක් ඇතිවිය යුතුයි. එසේ සුනාමි බලපෑමක් අපට තිබෙනවා නම් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව ද අපට දැනුම් දෙනවා. එම රටවල් සමඟ අප නිරන්තරව සම්බන්ධ වී කටයුතු කරනවා. ඉන්දීය සාගර සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඇති විය හැකි සුනාමි තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවනවා.

සුනාමියක් ඇති වුව හොත් එයට මුහුණ දෙන ආකාරය පිළිබඳව පසුගිය නොවැම්බර් 05 දින ද වැඩසටහනක් කළා. ඒ සඳහා සුනාමි අවදානමට ලක් වූ දිස්ත්‍රික්ක 14 සමඟ අප සම්බන්ධ වුණා. විටින් විට මෙවැනි පුහුණු වීම් කරනවා. කුමන අවස්ථාවක හෝ අපේ රටට සුනාමි තත්ත්වයක් ඇති වුව හොත් එමඟින් ජනතාව බේරා ගැනීමේ වැඩසටහනක් අප සතුව තිබෙනවා. සුනාමි තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයක් තිබෙනවා නම් ඒ පිළිබඳව ඉන්දීය සාගර සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරනවා. ඉන් පසුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත මැදිරියට එම පණිවිඩය දෙනවා.

මුලින්ම ප්‍රකාශ වන්නෙ යම් ස්ථානයක භූමි කම්පාවක් සිදු වූ බව. සාගරයේ කොපමණ ගැඹුරකින් එය සිදු වී තිබේද, ස්ථානය, දුර ප්‍රමාණය ආදිය ද දැනුම් දෙනවා. භූ කම්පනයේ තත්ත්වය 7.5ට වැඩි නම් අප ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරනවා. අදාළ සිදුවීම පිළිබඳව සුනාමි අවදානමකට මුහුණ දිය හැකි දිස්ත්‍රික්ක 14 කාර්යාලයන්ට අප එම තොරතුරු දැනුම් දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාවේ වාර්තා සහ සමුද්‍ර මෙහෙයුම් මැදිරියත් සම්බන්ධකර ගනිමින් මේ පිළිබඳව තවදුරටත් සොයා බලනවා. ශ්‍රී ලංකාවට එයින් බලපෑමක් ඇතිවිය හැකියි කියා නිවේදනය වුව හොත් අපට ජනතාව ඉවත් කිරීමට තිබෙන්නෙ පැය එක හමාරයි. එවිට මුහුද ආසන්නයේ තිබෙන දිස්ත්‍රික්ක 14 තුළ පළමු කිලෝමීටරයේ සිටින ජනතාව ඉවත් විය යුතුයි. කිලෝ මීටර් දෙකක්වත් ආපස්සට යන්න ඕනෑ.

කුලුනුවල ගැටලු

අපේ රට වටා සුනාමි අනතුරු ඇඟවීම් කුලුනු 77ක් තිබෙනවා. හැබැයි මේවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු පවතිනවා. මෙම කුලුනු ස්ථාපිත කළේ පැවැති යුද සමයේ. ඒ නිසා මේවා ස්ථානගත කිරීම පිළිබඳ ද ප්‍රශ්න තිබෙනවා. බැටරි සහ සූර්යකෝෂවලින් මේවා ක්‍රියා කරනවා. සන්නිවේදන ගැටලු පවතිනවා. රේඩියෝ තරංගවලින් මේ වන විට මේවා ක්‍රියා කරනවා. අක්‍රිය කුලුනු නැවත ක්‍රියාකාරී කුලුනු බවට පත් කරන්න පුළුවන් නම් අප එය නොකර ඉන්නෙ නැහැ. මම මෙම තනතුර භාරගෙන තවම ටික කාලයයි. හැබැයි මෙම කුලුනු පිළිබඳ මටත් ගැටලු පවතිනවා. එම කුලුනු 77න් පහළට කෝඩ් එකක් දැමීමේ කටයුත්ත අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කුලුනකට භාරකරුවකු පත් කිරීමේ කටයුතු සිදු කරනවා. මෙම කුලුනු ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ ක්‍රියාකාරීත්වය යටතේ පවතිනවා. මෙම තත්ත්වය යටතේ සුනාමි අවදානමක් ඇති වුව හොත් ගැටලුවක් නැතිව ජනතාව දැනුම්වත් කරන්න පුළුවන්.

නව ජීඑස්එම් කුලුනු

එම වැඩසටහනට අමතරව සුනාමි තත්ත්ව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. එහිදී සුනාමි අවදානම් කලාපයක සිටින පුද්ගලයකුට පළමුව පණිවිඩයක් දිය යුතුයි. ඒ සඳහා තිබෙන කුලුනුවලට අමතරව ජී එස් එම් කුලුනු ලබන වසරේ ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. මේ සඳහා මිලියන 240ක මුදලක් ද වෙන් කර තිබෙනවා. මෙම කුලුනු සවිකිරීමේදී යම් ආයතනයක් සම්බන්ධ කර ගන්නවා. එය හෝටලයක්, විහාරස්ථානයක්, පල්ලියක්, කෝවිලක්, හමුදා කඳවුරක්, පොලිසියක් විය හැකියි. එවිට අදාළ කුලුනේ ආරක්ෂාව, ක්‍රියාකාරීත්වය පිළිබඳ වගකීම ඔවුන්ට භාරදෙනවා.

මෙයට අමතරව මෙරට තිබෙන සන්නිවේදන සමාගම් සමඟ ඒකාබද්ධව ක්‍රියා කරමින් ඔවුන්ගේ දුරකතන ජාල හරහා සුනාමි අවදානම් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා. අපට සුනාමි අනතුරක් පිළිබඳව තොරතුරු ලැබූ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාන්විත මැදිරිය මඟින් අදාළ සමාගම්වලට එම තොරතුර දෙනවා. එවිට අදාළ සමාගම්වල දුරකථන මඟින් සාගරය ආශ්‍රිත ප්‍රදේශවල සිටින සියලුම ජනතාවගේ දුරකතන වෙත අදාළ තොරතුර දෙනවා. මෙම ක්‍රමය 26 දින සිට ආරම්භ කිරීමට නියමිතයි. මේ සඳහා ජනතාව ලියාපදිංචි වීමක් අවශ්‍ය වන්නෙ නැහැ. මෙම ක්‍රමයටත් අමතරව සුනාමි කෝල් නමින් ක්‍රමයක්ද හඳුන්වා දෙනවා.

සුනාමි රෙඩි වැඩසටහන්

මෙහිදී සිදු වන්නෙ සුනාමි අනතුර පිළිබඳව දැනුම්වත් කිරීමේ සංගීත ඛණ්ඩයක් දුරකතනය හරහා විකාශය වීමයි. හැබැයි එම අවදානම ඇති වන අවස්ථාවේ මහනුවර නගරයේ සිටින පුද්ගලයෙකුගේ දුරකතනයේ මෙම සංගීත කණ්ඩය විකාශය වන්නෙ නැහැ. නමුත් සුනාමි අනතුරක් ඇති වුව හොත් මුහුද අවට සිටින පුද්ගලයන්ගේ දුරකතනවල මෙම සංගීත ඛණ්ඩය වාදනය වෙනවා. මෙම ක්‍රමය ලබන වසරේ (2022) ආරම්භ කරනවා. මෙවැනි දෙයක් ලෝකයේ කොහෙවත් නැහැ. මුහුදේ සිටින ධීවරයන්ගේ ජංගම දුරකතනවලද මෙම සංගීත ඛණ්ඩය වාදනය වනවා. සුනාමි කෝල් එකකින් පසුව සුනාමි අනතුරෙන් ජීවිතය බේරා ගැනීමට ක්‍රියා කිරීමට තිබෙන්නෙ පැය භාගයයි. එම පැය බාගය තුළ කිලෝ මීටර් දෙකක් දුරට යාමට අවදානම් ප්‍රදේශවල සිටින ජනතාවට සිදු වෙනවා. මෙවිට ජනතාවට අදාළ ප්‍රදේශයෙන් පිට වීමට අවස්ථාව හිමි වන අතර කිසිවකුට අදාළ ප්‍රදේශවලට ඇතුළු වීමට ඉඩ නොදීමට ත්‍රිවිධ හමුදාව ක්‍රියා කරනවා. ඒ වගේම ජනතාවට යා යුතු ස්ථානයද අප නම් කර තිබෙනවා.

මුහුදුබඩ ප්‍රදේශවල හෝටල්, පාසල්, කාර්යාල, පවතිනවා. මෙම ආයතන සඳහා සුනාමි රෙඩි කියා වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. සුනාමි රෙඩි හොටෙල්, සුනාමි රෙඩි හොස්පිටල්, සුනාමි රෙඩි ස්කූල් ආදි වශයෙන් අදාළ ආයතන ක්‍රියා කළ යුතු වෙනවා. අදාළ හෝටලයට සුනාමි අවදානමක් ඇති වුව හොත් එහි සිටින සංචාරකයන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. සංචාරකයන් ගමන් කළ යුතු ස්ථාන පිළිබඳව සැලැස්මක් එහි තිබෙන්න ඕනෙ. හෝටලයට පැමිණෙන සංචාරකයන්ට නැවතී සිටීමේ කාමරයේ යතුර දෙන විට සුනාමි අවස්ථාවක් ඇති වුව හොත් ක්‍රියා කරන ආකාරය පිළිබඳ විස්තරද දිය යුතුයි. අනෙකුත් ස්ථානවලට ඒ ආකාරයෙන් වැඩපිළිවෙළක් තිබීම අවශ්‍යයි.

සුනාමියකින් අනතුරුව සිදු වන පසු අවස්ථා පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද අප දැන සිටිය යුතුයි. සුනාමි අවදානමක් පැමිණෙනවා කියා එය නොපැමිණිය හොත් ජනතාව නැවත නිවෙස් කරා ගමන් කළ යුතු ආකාරය, එම නිවාස සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීම පිළිබඳව වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ සියල්ලට අප පිළිතුරු දීමේ වැඩසටහනක් මේ වන විට සකස් කරමින් පවතිනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩපිළිවෙළ නිසා සුනාමි අවදානමක් පිළිබඳව කිසිවකු බිය විය යුතු නැහැ.

ශක්තිමත් නීති රාමුවක්

මෙරට සෑම දිස්ත්‍රික්කයකටම යම් යම් ආපදා තත්ත්වයන් පවතිනවා. නියඟයෙන් දීර්ඝ කාලීන හානි පැමිණෙනවා. ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වන නීති රාමුව තවත් ශක්තිමත් කළ යුතුයි. පසුගියදා ඇතිවූ වැසි තත්ත්වයත් සමඟ වැඩි පිරිසක් මියගියේ ජලයේ ගිලීමෙන්. සැඩ පහර පෙනි පෙනී රථ වාහන ගමන් කරනවා. අනාරක්ෂිත තත්ත්වය යටතේ පිහිනීමට කටයුතු කරනවා. ඇතැම් අනතුරුදායක ස්ථානවලින් ඉවත් වීමට දැනුම් දුන්නාට ඇතැමුන් ඉවත් වන්නෙ නැහැ. මෙවැනි පුද්ගලයන් බලහත්කාරයෙන් හෝ ඉවත් කිරීමේ නීතියක් ඉදිරියේදී පැමිණෙයි. ගංගා ආශ්‍රිතව සිටින ජනතාව වෙනත් ස්ථානවල පදිංචි කිරීමේ වැඩපිළිවෙළක්ද තිබෙනවා.

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු

අනුග්‍රහය - www.dinamina.lk