රුවන්ඩාව සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

දෙසැම්බර් 27, 2021

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා සුදුසු රුවන්ඩා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා රුවන්ඩා ජනරජය, ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සමඟ නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත.
 
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සඳහන් කරන පරිදි, මෙම අවබෝධතා ගිවිසුම මුලින් අත්සන් කරන ලද්දේ 2015 දී ය. එමගින් ඒකාබද්ධ පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරන අතර රුවන්ඩා විශ්වවිද්‍යාල සමඟ අනාගත සහයෝගීතා ගොඩනගාගැනීමට මග විවර කරනු ඇති බවද එහි සඳහන් වේ.
 
ශ්‍රී ලංකාවේ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස්වරිය වන අතිගරු ජැකලින් මුකන්ගිරා මැතිනිය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් පසුගියදා (දෙසැම්බර් 23) කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී.
 
රුවන්ඩා මහ කොමසාරිස්වරිය ගගන ඉංජිනේරු සහ ගුවන් යානා නඩත්තු ඉංජිනේරු ක්ෂේත්‍රවල රුවන්ඩා ගුවන් හමුදාවේ සහ සිවිල් ගුවන් සේවා අංශයේ සේවය කරන වෘත්තිකයන් සංවර්ධනය කිරීම පිළිබඳව රුවන්ඩා මහ කොමසාරිස්වරිය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත කෘතඥතාව පළකළ අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරට අතර සමීප සහ මිත්‍රශීලී සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

රුවන්ඩා ජනරජය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් නියෝජිතයින් කිහිප දෙනෙකුද මේ අවස්ථවට සහභාගී වුහ.