පුද්ගලික ආරක්‍ෂක සේවාව නැගී එන ක්‍ෂෙත්‍රයක් - ආරක්‍ෂක ලේකම්

දෙසැම්බර් 30, 2021

පුද්ගලික ආරක්‍ෂක සේවාව නැඟී එන ක්‍ෂෙත්‍රයක් වන අතර, එය ජාතික ආරක්‍ෂාවට ද දායක වන බැවින් ඉන් ලැබෙන සහයෝගය අතිමහත් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (දෙසැ. 29) සවස පැවසීය.

රටේ ආර්ථිකයට දායක වීම සහ පුරවැසියන් සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේවාවන්හි සේවය කළ පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අමතරව පසුගිය කාලය තුළ ආරක්‍ෂක අවශ්‍යතා පුළුල් පරාසයක් දක්වා විකාශනය වීමත් සමඟ රටේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා පුද්ගලික ආරක්‍ෂක සමාගම් වැඩි දායකත්වයක් ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ සංගමයේ ‘වාර්ෂික මහා සභා රැස්වීම - 2021’ අමතමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරිමේ කොටස්කරුවන් ලෙස 150,000 කට ආසන්න පුද්ගලික ආරක්‍ෂක ආයතනවල සාමාජිකයින් එහි අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව ජාතික ආරක්‍ෂාව සහතික කිරීමේ වගකීම දරණ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔහු දැඩිව විශ්වාස කරන බවයි.

ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශනයේ ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බව සඳහන් කරමින් ආරක්‍ෂාව සබැඳිව ආරක්‍ෂක ලේකම්වරයා වගකිව යුතු බවත්, ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන අණ, අධිකාරිය, වගකීම සහ වගවීම ද තම කර මත පවතින බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ආරක්‍ෂක සේවාවන්හි පුරෝගාමීන් අමතමින් ඔහු කියා සිටියේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අත්විඳින වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙම ක්‍ෂෙත්‍රය තුළ දියුණුවක් පෙන්නුම් කරන බවයි.

ව්‍යාපාර සහ ආයතන විසින් අවදානම් අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් ඇතුළු විවිධ සාධක හේතුවෙන් මෙම වර්ධනය ලඟා කරගන්නා බව ඔහු පැවසීය.

ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාව සබැඳි කාර්යයන් ඉටුකිරීමේදී බහු කාර්ය සහ තාක්‍ෂණය පිළිබඳ ප්‍රමාණවත් දැනුම වැනි මෙම කර්මාන්තය මුහුණ දෙන අභියෝග පිළිබඳව සඳහන් කරමින් ඔහු අවධාරණය කලේ, වඩා වගකීම් දැරීමට මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීම වැදගත් වන අතර එහිදී කුසලතා වර්ධනය තීරණාත්මක සාධකයක් බවට පත් වන බවයි.

දුර්වල ප්‍රතිලාභ, වන්දි නොමැතිකම, නිසි රක්‍ෂණ ප්‍රතිපත්ති නොමැතිකම සහ සේවකයින්ගේ වෘත්තීය සංවර්ධනයක් නොමැතිවීම මෙම ක්‍ෂෙත්‍රය දුර්වල වීමට හේතු වූ ප්‍රධාන කරුණු ලෙස දක්වමින් ආරක්‍ෂක සේවාවන්හි ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා එවැනි අඩුපාඩු අවම කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජෙනරල් ගුණරත්න ඔවුන්හට යෝජනා කළේය.

තාක්‍ෂණයේ දියුණුව සහ වැඩිවෙමින් පවතින ආරක්‍ෂක තර්ජනවලට මුහුණදීම සඳහා නවීන තාක්‍ෂණය, විශේෂිත ආරක්‍ෂක පුහුණු ආයතන සඳහා යොමු වීමේ කාලීන අවශ්‍යතාව ද ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සියලුම ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ ආයතනවලට සහය දැක්වීම සඳහා සහ රජය සමඟ ඔවුන්ගේ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා, රේඛීය අමාත්‍යාංශය ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ජාතික ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් යම් පරාමිතීන් සකස් කර ඇති අතර, පුද්ගලික ආරක්‍ෂක ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සහ මෙම ක්‍ෂෙත්‍රයේ සහජීවනය සහ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා සියලුම ආයතන මෙම රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ඔහු පැවසූයේ 2022 වසරේ සිට වෙබ් අවකාශය මත පදනම් වූ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බවට තහවුරු කරමිනි.

සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති, නිලධාරීන් හා එහි සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහභාගී විය.