වඩා ඵලදායි වසරක් සඳහා
නව බලාපොරොත්තු ඇතිව වැඩ අරඹමු - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 03, 2022

කොවිඩ් වසංගතය මධ්‍යයේ මහජන අපේක්ෂාවන් සපුරාලීම සඳහා අඛණ්ඩ සේවාවක් සැපයීමට ආරක්‍ෂක අමාත්‍යාංශය සමත් වී ඇති බවත් මෙම අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ යුතුකම් සහ වගකීම් කැපවීමෙන් ඉටුකිරීම සඳහා සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශවලට ප්‍රමුඛත්වය දෙමින් වැඩකටයුතු ඉදිරියට කරගෙන ගෙන යා යුතු බවත්,  අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ උත්සාහය අගයමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 3) පැවසීය.

ජෙනරල් ගුණරත්න මහතා මෙම අදහස් පළ කළේ සම්ප්‍රදායානුකූලව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් 2022 වසර උදාව වෙනුවෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයේදීය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින්  ජාතික ධජය ඔසවන ලද අතර, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමියේ වෙත සාමය උදාකිරීම සඳහා උත්තරීතර පරිත්‍යාගයක් සිදුකළ සියලු දෙනා වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීමට සහ අනුස්මරණය කිරීම සඳහා මොහොතක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි.

අමාත්‍යාංශයේ සියලුම සේවකයින් විසින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීම ද සිදුකළහ.

ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පසුගිය වසර දෙක තුල දරන ලද උත්සාහයන්ටත් වඩා ඉතාමත් ඵලදායී ආකාරයෙන් වැඩකටයුතු කිරිමේ නව බලාපොරොත්තු ඇතිව අපි මේ වසර ආරම්භ කරන බව ඔහු සඳහන් කළේය.

වත්මන් ගෝලීය ආර්ථික හා සමාජ අර්බුදකාරී තත්ත්වය උපුටා දක්වමින් ඔහු තවදුරටත් කියා සිටියේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන අතරතුර, එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් වසංගතය පාලනය සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ උත්සාහය පිළිබඳවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් විශිෂ්ඨ ඉදිරි පිම්මක් පිළිබඳව වැඩිදුරටත් සිහිපත් කළ ආරක්‍ෂක ලේකම්වරයා, රටේ රණවිරුවන්ට උපහාරයක් වශයෙන් ඉදිකළ සඳහිරු සෑය ඉදිකිරීමට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුතිය පුද කළේය.

විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාන්විතයේදී ආබාධිත වු සාමාජිකයින්ට සහ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට වැටුප් සහ අනෙකුත් මුල්‍ය ප්‍රතිලාභ ලබාදීම සහ අවිවාහක රණවිරුවන්ගේ දෙමාපියන්ට මාසික දීමනාව ලබාදීම හරහා සුබසාධනය ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් හිටපු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයෙකු ලෙසත් ආරක්‍ෂක ලේකම්වරයා ලෙසත් මෙය යථාර්ථයක් කිරීමට හැකිවීම පිළිබඳව ජෙනරල් ගුණරත්න සතුට පළ කළේය.

පසුගිය දෙවසර තුළ අමාත්‍යාංශය සහ එහි විෂය පථය යටතේ ඇති ආයතන විසින් ගනු ලැබූ නිවාරණ ක්‍රියාමාර්ග හේතුවෙන් තරුණ තරුණියන් පීඩාවට පත් කළ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට හැකි වූ බව පවසමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අන්තවාදී කණ්ඩායම් සහ පාතාල කල්ලි පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තුළින් අපගේ ජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතාව තවදුරටත් ශක්තිමත් වී තිබීම ප්‍රතික්‍ෂේප කළ නොහැකි සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

මහා සංඝරත්නය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සහ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.