කොතලාවල විශ්වවිද්‍යාලයේ නව තාක්‍ෂණ පීඨය සහ පිවිසුම
අගමැති අතින් විවෘත වේ

ජනවාරී 10, 2022

•    ‘තාක්‍ෂණ පීඨය’ විවෘත කිරීම විශාල ඉදිරි පියවරක්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සිය 10 වන පීඨය ලෙස  ‘තාක්‍ෂණ පීඨය’ අද (ජනවාරි 10) දින ආරම්භ කරන ලද අතර, අභිනවයෙන් ඉදිකරන ලද පිවිසුම විවෘත කිරීම ද එහිදී සිදුවිය.  
 
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පස්වන විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, විශ්වවිද්‍යාලීය උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ගේ ආරාධනයෙන් මෙම සමාරම්භක උත්සවයට සහභාගි විය.
 
දක්‍ෂ උපාධිධාරීන් සහ ශ්‍රම බලකායක් බිහිකිරීමේ අපේක්‍ෂාවෙන් ඇරැඹි මෙම නව තාක්‍ෂණ පීඨය මගින් පුළුල් පරාසයක උපාධි පාඨමාලා පිරිනැමීමට අපේක්‍ෂා කරයි.
 
උපකුලපතිවරයාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපති ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න රැස්ව සිටි පිරිස අමතන ලදි.
 
උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රාජපක්‍ෂ පවසා සිටියේ විදේශ අධ්‍යාපනය හැදෑරීමට අපේක්‍ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරට තුල රඳවා තබා ගනිමින් විශාල විදේශ මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විශාල දායකත්වයක් ලබාදී ඇති බවයි.
 
නව පීඨය පිහිටුවීමත් සමඟම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් රටේ සංවර්ධන සංග්‍රාමයට අවශ්‍ය වෘත්තිකයන් බිහි කරනු ඇතැයි ඔහු විශ්වාස කරන බව වැඩිදුරටත් පැවසීය.
 
මෙම අවස්ථාව සනිටුහන් කරමින් උපකුලපති මේජර් ජෙනරල් පීරිස් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, තාක්‍ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය කේ. එම්. ජී. ප්‍රේමදාස මහතා විසින් උත්සවයේ ස්තුති කථාව පවත්වන ලදි.
 
මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, නියෝජ්‍ය උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, අධ්‍යක්‍ෂවරුන්, හමුදා නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් නියමිත සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාවට එක්ව සිටියහ.