ඩෙංගු මර්දනයට යුද හමුදා සහාය

ජනවාරී 12, 2022

පැතිර යන ඩෙංගු උණ රෝගය මැඩපැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් විසින් ගම්පහ, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් පසුගියදා පවත්වන ලදී.

ඉහත දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ වාර්තා කිරීමත් සමග මෙම ප්‍රජා සුභසාධක ව්‍යාපෘතිය දියත් කළ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සේවකයින් 105 දෙනෙක් සහ යුද හමුදා සාමාජිකයින් 900 කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහනට සහභාගී විය.

යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් මෙම ව්‍යාපෘතිය සඳහා සක්‍රීයව දායක වී ඇති බව ද යුද හමුදාව පවසයි.