අනාගත හමුදා නායකයින් තුල නායකත්ව වර්ධනය වැදගත් - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 13, 2022

•   අපේ ශ්‍රේෂ්ඨ ජාතිය තම හමුදාවෙන් සම්පූර්ණ අවංකභාවය සහ අඛණ්ඩතාව අපේක්‍ෂා කරයි.

අපේ ශ්‍රේෂ්ඨ ජාතිය මුහුණ දෙන නව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා අනාගත හමුදා නායකයින් අතර, නායකත්ව ගුණාංග වර්ධනය කිරිමට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජනවාරි 13) පැවසීය.

අපේ ශ්‍රේෂ්ඨ ජාතිය, තම හමුදාවෙන් සම්පූර්ණ අවංකභාවය සහ අඛණ්ඩතාව අපේක්‍ෂා කරන අතර, එය ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව සුරැකීමට ඉවහල්වන වන බවත්, අවංක නායකයින් දෙබිඩිභාවයෙන් හෝ කුහකත්වයෙන් පීඩා විඳින්නේ නැති බවත් ඔහු පැවසීය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සන්නද්ධ හමුදා මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ නායකත්ව සම්මන්ත්‍රණය - 2021 හිදී මධ්‍යම ශ්‍රේණියේ හමුදා නිලධාරීන් අමතමින් ඔහු මෙම අදහස් පලකල අතර, නූතන යුගයේ නිලධාරියෙකුට ඔහුගේ හෝ ඇයගේ හමුදා දිවිය තුළදී මුහුණ දීමට සිදුවන විවිධ ආකාරයේ අසාර්ථකත්වයන්ගෙන් වෘත්තීයමය වශයෙන් බේරීමට හැකි වුවද, අවංකත්වයට අභියෝගයක්ව කටයුතු කළ නොහැකි බවත්, එහිදී වැඩිදුරටත් පැවසීය.

‘Military Leadership in the Contemporary World: Evolving from a Warrior to a Friend in Need’ යන තේමාව යටතේ පැවති සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වූ අතර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙය සංවිධානය කරනු ලැබිය.

යුද හමුදාපති තුමන් විසින් වැඩසටහන ආරම්භයේදී පිළිගැනීමේ කතාව සිදුකළ අතර, මාතෘභූමිය තුල සාමයේ සහ සමගියේ යුගයක් උදාකිරීම සඳහා උත්තරීතර පරිත්‍යාගයන් කළ ඒ සියලු විරුවන් වෙත කෘතවේදීත්වය පුදකිරීමට සහ අනුස්මරණය කිරීම සඳහා මොහොතක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි.

ඒ අනුව, ජාතික ආරක්‍ෂාව තුළ හමුදාවේ සාම්ප්‍රදායික භූමිකාව සහ කාර්යභාරය යලි නිර්වචනය කිරීම, කාලීන මෙහෙයුම් පරිසරය තුළ හමුදා නායකත්වයේ නැගී එන භූමිකාව සහ මිලිටරි මානසිකත්වය පිළිබඳ හමුදා නායකත්වය සඳහා වෘත්තීය ප්‍රවේශය වැනි විෂයන් මෙම වැඩසටහනේ ඇතුලත් විය.

ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයට එරෙහි සටන ජයග්‍රහණය කිරීමට නායකත්වය දුන් ත්‍රිවිධ හමුදාවේ සිටි ශ්‍රේෂ්ඨ නායකයින් ගැන සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා, නව ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා අනාගත නායකයන් අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරිමට ඇති අවශ්‍යතාව තවදුරටත් පුළුල් කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

ත්‍රිවිධ හමුදා මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ට සෑම ආකාරයකින්ම කාලීන මෙහෙයුම් පරිසරයට ගැළපෙන පරිදි ඔවුන්ගේ නායකත්ව ලක්‍ෂණ වර්ධනය කර ගැනීම සඳහා මෙම සම්මන්ත්‍රණය ප්‍රයෝජනවත් වනු ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

අනාගත යුද්ධ මෙහෙයවීම සඳහා හමුදාවට ඉහළ දක්‍ෂතා සහිත තාක්‍ෂණික හැකියාවෙන් යුත් නිලධාරීන්ගෙන් යුත් බළකායක් අවශ්‍ය වන අතර, නව තාක්‍ෂණය සහ නායකත්වයේ කළමනාකරණ පද්ධති ඉදිරියට යමින් ඉතා සූක්‍ෂම උපක්‍රමවලින් පමණක් සටන් කළ හැකි හමුදා සංස්කෘතියක් වර්ධනය වෙමින් පවතින බව, ඔවුන්ගේ රැකියාව සඳහා නිලධාරීන්ගේ වෘත්තීයභාවයේ අවශ්‍යතාවය පෙන්නුම් කරමින් ඔහු පැවසීය.

රණශූරයෙකු යහපත් මිතුරෙකු වශයෙන් පරිවර්ථනය වීම දක්වා තමන්ගේ අණ යටතේ සිටින අයවලුන් හා සබැඳි කරුණු පිළිබඳව දැනුවත් වෙමින් සහ ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට සහ බෙදාගැනීමට ඇති හැකියාව ගැන සඳහන් කරමින් හමුදා නිලධාරීන් සංවේදී බුද්ධියක් ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් අජිත් දිසානායක, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය හරින්ද විදානගේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සම්බන්ධීකරණ එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න බාලසූරිය, එහි පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික සහ ගුවන් මෙහෙයුම් කොමදෝර් පූජිත සුගතදාස, එහි අධ්‍යක්‍ෂ, බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා, සම්මන්ත්‍රණ සැසිවල සභාපතිවරුන්, ආරාධිත කථිකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට එක්ව සිටියහ.