වනපෙත් මැද අභිමානයෙන් යළි ගොඩනැගෙන නීලගිරි සෑය

ජනවාරී 16, 2022

• ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණය ඇරඹේ

නීලගිරිමහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 16) දින නීලගිරි මහා සෑය පරිශ්‍රයේදී ආරම්භ කරන ලදි.
 
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සනිටුහන් කරමින් පානම බෝධි රුක්ඛාරාම විහාරාධිපති පූජ්‍ය පානම චන්ද්‍රරතන නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ ආගමික වතාවත් මධ්‍යයේ ලාහුගල මඟුල් මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඉඳිගස්වැල්ලේ පුඤ්ඤසාර නාහිමියන්ගේ ආශිර්වාදයෙන් පළමු ගඩොල තැන්පත් කෙරිණි.
 
මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා මාධ්‍ය අමතමින් “මෙය පුරාවිද්‍යා කැණීම් වලදී නීලගිරි ධාතු නම් සර්වඥ ධාතූන් වහන්සේලා හමුවූ පූජනීය ආගමික පුදබිමක්” බව ප්‍රකාශ කළේ මෙම චෛත්‍යය පෙර පැවති ශ්‍රී විභූතිය නැවත ලබා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරමිනි.
 
මෙහි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී සියලු නීලගිරි ධාතූන් වහන්සේලා එම චෛත්‍යයේ තැන්පත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
මෙම උදාර කර්තව්‍යය සඳහා වන අරමුදල් පිළිබඳව ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා, මෙම කටයුතු සඳහා රාජ්‍ය අරමුදල් යොදා නොගන්නා බවත්, පරිත්‍යාග මගින් අරමුදල් සපයාගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතියෙන් පසු “නීලගිරි භාරකාර අරමුදල” පිහිටුවන බව වැඩිදුරටත් පැවසීය.
 
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලාහුගල රක්ෂිතයේ පිහිටි නීලගිරි සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරගෙන යනු ලබයි.
 
ලාහුගල මඟුල්මහා විහාරාධිපති පූජ්‍ය ඉඳිගස්වැල්ලේ පුඤ්ඤසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එහි පෞරාණික වටිනාකම සහ පැරණි ශ්‍රී විභූතිය ආරක්‍ෂා කරමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කෙරේ.
 
නීලගිරි සෑය නැගෙනහිර පළාතේ විශාලතම බෞද්ධ ස්තූපය ලෙස සැලකෙන අතර මෙම ආගමික ස්ථානය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනකට අධික කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අත්හැර දමා තිබුණි.
 
ලාහුගල රක්ෂිතයේ පිහිටි මෙම පූජනීය ආගමික ස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස දක්වා දිවෙන බවත්, ධාතූන් වහන්සේලා, කුඩා ස්තූපවල නටබුන් සහ සෙල්ලිපි ඇතුළු පුරාවස්තු විශාල ප්‍රමාණයකින් මෙම ස්ථානය සමන්විත වන බවත් වංශකතාවල සඳහන් වේ.
 
මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා ගුවන් හමුදාපතිවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදි.
 
නා උයන විහාරාධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද හිමියන් හා ලාහුගල සුමනසාර හිමියන්, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් සහ බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
අනතුරුව ජෙනරල් ගුණරත්න මහතා මුහුදු මහා විහාරාධිපති සහ නැගෙනහිර පළාත් සංඝනායක පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි නාහිමියන් ද මුහුදු මහා විහාර පරිශ්‍රයේදී වැඳ පුදා ගත්තේය. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික) සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුද මෙම සංචාරයට එක්ව සිටියහ.