දීඝවාපිය සර්වඥ ධාතූන් වහන්සේ විහාරස්ථාන ‘ධාතු මන්දිරයේ’ තැන්පත් කෙරේ

ජනවාරී 17, 2022

• යෝජිත බුද්ධ මන්දිරය සඳහා මුල්ගල තැබේ.

දීඝවාපිය ස්ථූප භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ අද (ජනවාරි 17) දින තැන්පත් කරන ලදි.

කැණීම්වලදී සොයාගන්නා ලද ධාතුන් වහන්සේලා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වන තෙක් තැන්පත් කර තිබූ අතර, සර්වඥ ධාතූන් වහන්සේ රැගත් ආගමික පෙරහැර අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ වී දීඝවාපිය විහාරස්ථානය වෙත ලඟාවිය.

මහා සංඝරත්නයේ ආශිර්වාද හා ආගමික වතාවත් මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ඒ අනුව දුරුතු පොහොය දිනට සමගාමීව, මෙහි ඉදිකරන ලද ධාතු මන්දිරයේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරුණු අතර, ආරක්‍ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් යෝජිත බුද්ධ මන්දිරය සඳහා මුල්ගල් තැබීම පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති මලේගොඩ නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ ආගමික වතාවත් මධ්‍යයේ සිදු කරන ලදී.

නා උයන අසපුවේ මහා නායක පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද හිමියන් සහ අම්පාර මහාවාපි විහාරාධිපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමියන් විසින් අනුශාසන දේශනාවන් සිදුකරන ලදි.

දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාවය, දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අවධානයට යොමු කිරිමෙන් පසු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.

ආරක්‍ෂක ලේකම්වරයාගේ මඟපෙන්වීම යටතේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය මේ වන විට විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇත. මෙම ක්‍රියාවලිය සඳහා අරමුදල් සපයාගනු ලබන්නේ, බෞද්ධ දානපතියන්ගේ නොමසුරු සහය ලැබෙන ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ මගිනි.

බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය සැලකේ.

මහා සංඝරත්නය වෙත දානය පිරිනැමීමෙන් පසු පුණ්‍ය‍ෙත්සවය කටයුතු අවසන් විය.

දීඝවාපිය විහාරස්ථානාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමි, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි, අම්පාර මහාවාපි විහාරාධිපති සහ අම්පාර දිස්ත්‍රික් සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම ඓතිහාසික අවස්ථාවට වැඩම කරන ලදි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සහ අම්පාර හිටපු දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක, අම්පාර දිසාපති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.