කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පරිගණක විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක් එළිදක්වයි

ජනවාරී 18, 2022

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය මගින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර පරිගණක පර්යේෂණ සඟරාවේ පළමු වෙළුමේ පළමු කලාපය පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී එළිදැක්විණි.

පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඒ. ඩි. ඒ. අයි. ගුණසේකර විසින් උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් වෙත පළමු පිටපත පිරිනැමූ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

මෙය දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්ට ප්‍රවේශයක් සපයන අතර පරිගණක විද්‍යාව පිළිබඳ නවතම දැනුම බෙදා හැරීමට අවස්ථාවක් සපයන අර්ධ වාර්ෂික ප්‍රකාශනයක් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

මෙම වෙළුමේ සෑම ලිපියක්ම උසස් තත්ත්වයේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස රචනා කර ඇති අතර අනාගත පර්යේෂණවල ප්‍රයෝජනය සඳහා පරිගණක ක්ෂේත්‍රයේ සාහිත්‍යය පුළුල් කිරීමට මෙය දායක වනු ඇතැයි ද පැවසේ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය උපකුලපතිවරුන්, ජාත්‍යන්තර පරිගණක පර්යේෂණ සඟරාවේ ප්‍රධාන කර්තෘ ආචාර්ය එච්.ආර්.ඩබ්ලිව්.පී ගුණතිලක සහභාගි වූහ.