රටට සහ ජනතාවට සෙත් පතා ‘ජය පිරිත’ ජනවාරි 26 වැනිදා

ජනවාරී 18, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ජය පිරිත’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළැඹෙන ජනවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 18) දින අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

රටට හා සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආගමික ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, වසංගතයෙන් රට ගලවා ගැනීමත් අරමුණු කරගනිමින් මහානාහිමි, අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් ආරාධිත භික්ෂූන් වහන්සේලා දහස් නමකගේ සහභාගීත්වයෙන් මෙවර ‘ජය පිරිත’ පැවැත්වෙන බව ජෙනරල් ගුණරත්න එහිදී පැවසීය.

වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා නියමිත සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව සියලු කටයුතු සිදුකරන බව ද ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර, රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම ද මෙමගින් සිදුකෙරේ.

මෙහිදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියේ කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ හේතුවෙන් මේ සඳහා සහභාගි විය හැක්කේ සීමිත සංඛ්‍යාවකට පමණක් බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ‘ජය පිරිත’ ප්‍රථම වරට පැවැත්වුයේ හිටපු ආරක්‍ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව භික්ෂූන් වහන්සේලා 3000 ත් 5000 ත් අතර ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් බව ඔහු ප්‍රකාශ කළේ වාර්ෂිකව සංවිධානය කරන මෙම උත්සවයේ ආරම්භය සිහිපත් කරමිනි.

මින් පෙර පැවති ‘ජය පිරිත’, වසංගතයේ උච්චතම අවස්ථාවේ පැවති අතර එහිදී මහා සංඝරත්නය විසින් රතන සූත්‍රය, ගිනි පිරිත සහ ජය පිරිත සජ්ඣායනා කරන ලදි.

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ පසුදින දානමය පිංකමෙන් අනතුරුව සමාප්තියට පත්වන මෙම උතුම් පුණ්‍යකර්මය සංවිධානය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය සහය දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ගාමිණී මහගමගේ, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් නලින් හේරත්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ පරිපාලන නියෝජිතයන් සහ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටියහ.