ශ්‍රී ලංකා නාවික හමුදාව ජර්මානු සහ ජපාන යුද නෞකා සමඟ අභ්‍යාසයක

ජනවාරී 19, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹට සහ ත්‍රිකුණාමලයට ළඟා වූ ජර්මානු නාවික හමුදාවට අයත් නෞකාවක් සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් සමඟ නාවුක අභ්‍යාසයක් පසුගියදා පවත්වන ලදී.

මෙම අභ්‍යාස දිවයිනේ බටහිර සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හිදී සිදු කල බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

ජර්මානු නාවික හමුදාවට අයත් ‘BAYERN’ නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් කල්ස්කි ටිලෝ බටහිර නාවික විධාන මූලස්ථානයේදී නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා මහතා හමුවිය.

මේ අතර, ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායේ බිම්බෝම්බ නාශක අංශයේ පළමු බලඝණයේ අණදෙන නිලධාරී, ‘URAGA’ සහ ‘HIRADO’ යන නෞකාවල අණදෙන නිලධාරීන් දෙදෙනා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

ජර්මානු නාවික හමුදාවේ යුද නෞකාව සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ අතර නාවික අභ්‍යාසය කොළඹට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව ජපාන නෞකා සමඟින් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික අභ්‍යාසය සිදු කරන ලදී.

එකිනෙකා අතර අත්දැකීම් හුවමාරු කර ගනිමින්, නැව් කාර්ය මණ්ඩල සාමාජිකයින් සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ පිළිපදිමින් සංචාරය අතරතුර වැඩසටහන් කිහිපයකටම සහභාගී විය.

පිටත්ව යන ජර්මානු සහ ජපාන නෞකා වෙත නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සමුගැනීමේ අචාර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ බව නාවික හමුදා ආරංචි මාර්ග තහවුරු කළේය.