ආරක්‍ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික පිරිත් පිංකම ආරක්‍ෂක ලේකම්ගේ සහභාගිත්වයෙන්

ජනවාරී 20, 2022

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පහළොස්වන සංවත්සරය සමරනු වස් සංවිධානය කල සර්ව රාත්‍රික පිරිත් පිංකම ඊයේ (ජනවාරි 19) දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ සහභාගිත්වයෙන් එම පාසල් භූමියේ දී පැවැත්විණි.

රට, පාසල, ගුරුවරුන්, සිසුන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරමින් මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් සිදු කරන ලදී.

2007 ජනවාරි 17 වන දින සිසුන් 172 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් 8 දෙනෙකුගෙන් සමන්විතව ආරක්‍ෂක සේවා විද්‍යාලය විවෘත කරන ලදී. ප්‍රධාන වශයෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිස් නිලධාරීන්ට තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී මුහුණ දෙන අභියෝග සමනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් එය පිහිටුවන ලදී. ජාතික පාසලක් වන ආරක්‍ෂක සේවා විද්‍යාලය වර්තමානයේ 3400 කට අධික ශිෂ්‍ය ප්‍රමාණයක් සහ පුළුල් යටිතල පහසුකම් වලින් සමන්විත වේ.

මෙහි අධ්‍යයන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන අතර යටිතල පහසුකම් පරිපාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, විදුහල්පති, අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සිසුන් සහභාගී වූහ.