පූජ්‍ය කොළමුන්නේ සුමනවංස හිමියන් වෙත උපප්‍රධාන සංඝනායක පදවි ප්‍රදානය ආරක්‍ෂක ලේකම් සහහාගිත්වයෙන්

ජනවාරී 23, 2022

කොළමුන්න ශ්‍රී බිම්බාරාමාධීශ්වර අතිගරු කොළමුන්නේ සුමනවංස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘ධර්මකීර්ති ශ්‍රී සුමංගල’ යන ගෞරව නාම සම්මුතිය සහිත ‘ගල්ගොඩ මහා විහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක’ පදවිය පිරිනැමීම වෙනුවෙන් අද (ජනවාරි 23) සංවිධානය කර තිබූ උත්සවයේදී ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් කොළමුන්නේ සුමනවංස හිමියන් වෙත විජිනිපත පූජා කළේය.

අතිපූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ මෙම උත්සවයේ මුලසුන හෙබවූ අතර පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමියෝ අනුශාසනාව සිදු කළහ.

ජෙනරල් ගුණරත්න මහතා උත්සව සභාව අමතමින් සුමනවංස හිමියන්ගේ ප්‍රශංසනීය සාසනික සේවය සහ කැපවීම අගය කළ අතර නව පදවි ප්‍රාප්තියට සුබ පැතුවේය.

මෙම උත්සවයේදී අනුනායක හිමියන් විසින් සන්නස් පත්‍රය පිළිගැන්වීම සිදු වූ අතර ප්‍රසාද පූජාව විදුලිබල අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මහතා විසින් සිදු කරන ලදී.