අත්අඩංගුවට ගත් වහාම නීති විරෝධී මත්ද්‍රව්‍ය විනාශ කිරීමට සැලසුම් කරනවා - ආරක්‍ෂක ලේකම්

ජනවාරී 25, 2022
  • සැකකරුවන් 11 දෙනෙකු සහ ධීවර යාත්‍රා 2 ක් සමඟ විශාල හෙරොයින් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට.
  • අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රු. මිලියන 3300ක් බව නාවික හමුදාව විශ්වාස කරයි.
  • ධීවරයින් මෙවැනි අපරාධවලට හසු නොවිය යුතු බව ආරක්‍ෂක ලේකම් පවසයි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් වහාම එහි සාම්පලයක් නීතිමය කටයුතු සඳහා අධිකරණ නිලධාරියෙකු භාරයේ රඳවාගෙන එම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා නව නීති ගෙන එන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 25) දින පැවසීය.
 
මේ සඳහා වන මූලික කටයුතු මේ වනවිට සකස් වෙමින් පවතින අතර, එය අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල පරිපාලනමය අදියර කිහිපයකට භාජනය විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේ, දිවයිනේ දකුණු වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 737ක් පමණ ඔබ්බෙන් මුහුදේදී ජනවාරි 17 සහ 22 යන දිනයන්හිදී නාවික හමුදා නෞකාවක් මඟින් සැකකරුවන් 11 දෙනෙකු සහ ධීවර යාත්‍රා දෙකක් සමඟ අත්අඩංගුවට ගත් විශාල හෙරොයින් තොගය නිරීක්ෂණය සඳහා කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත ගිය අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් යාත්‍රාවක් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන‍ ඒම සඳහා ත්‍රිකුණාමලයේ සිට යාත්‍රා කර ඇති බවද ඔහු එහිදී අනාවරණය කළේය.

අත්අඩංගුවේ ඇති යාත්‍රා ගැන සඳහන් කරමින් ඔහු කියාසිටියේ, ශ්‍රී ලංකා ආර්ථිකයට ඉමහත් දායකත්වයක් සපයන අහිංසක ශ්‍රී ලාංකික ධීවරයන්ට මෙවැනි අපරාධවලට හසු නොවන ලෙසත් එසේ හසුවුවහොත් ඔවුන් නීතිය හමුවට පමුණුවන බවත්ය.

මෙම ඒකාබද්ධ මෙහෙයුම පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්වමින් ඔහු කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙහෙයවනු ලබන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වළල්ල මැඬලීම සඳහා මෙය සිදුකල බවත්, ඉදිරියේදීත් එවැනිම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්ය.
 
මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ජෙනරල් ගුණරත්න අනාවරණය කළේ, රළු මුහුදු තත්ත්වය නොතකා සති දෙකක කාලයක් මුහුදේ රැඳී සිටිමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමට කටයුතු කල බවයි.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහය ඇතිව මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමට අපි උත්සාහ කරන බවත්, කිලෝ 350කට ආසන්න මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන බවත් ආරක්‍ෂක ලේකම් පැවසීය.

මත්ද්‍රව්‍යවලින් තොර රටක් සඳහා නාවික හමුදාපතිවරයා, ඊට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ කාර්ය මණ්ඩලය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ මෙම කැපවීම පිළිබඳව ද ඔහු ප්‍රශංසා කළේය.

අත්අඩංගුවට ගත මෙම මත්ද්‍රවය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 3300 ක් බවට නාවික හමුදාව විශ්වාස කරයි.