ගුවන් හමුදාවට අංග සම්පූර්ණ නව රෝහලක් සඳහා මුල්ගල තැබේ

ජනවාරී 27, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නවීන අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (ජනවාරි 27) සිදු කරන ලදී.

නාරාහේන්පිට ඉදිකිරීමට යෝජිත, මහල් 12 කින් යුත් මෙම ගුවන් හමුදා රෝහල් සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාදය මධ්‍යයේ මුල්ගල තැබීම සිදු විය.

අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් පතිරණ මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජිත ගුවන් හමුදා රෝහල සඳහා කොළඹ 5, නාරංහේන්පිට, කිරිමණ්ඩල මාවතේ ස්ථානයක් වෙන්කරන ලදී.

ඇඳන් 200 කින් සමන්විත මෙම රෝහල ඉදිකිරීම සඳහා රාජ්‍ය හා ගුවන් හමුදා ප්‍රතිපාදන මගින් අරමුදල් සපයනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ඇත.

මූලික අදියර යටතේ රෝහලේ මහල් පහක් වසර තුනක් ඇතුළත නිම කිරීමට ගුවන් හමුදාව සැලසුම් කර ඇත. ගුවන් හමුදාවේ දිගුකාලීන අවශ්‍යතාවයක් වූ නව වෛද්‍ය මධ්‍යස්ථානය මෙමගින් සපිරෙනු ඇත.

සම්පූර්ණයෙන් නිම කළ පසු මෙම රෝහල සේවයේ නියුතු සහ විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයින් 200 දෙනෙකුට එකවර නේවාසික ප්‍රතිකාර ලබා ගත හැකි වනු ඇත. තව ද මියගිය ගුවන් හමුදා රණවිරුවන්ගේ පවුල්වල වෛද්‍ය අවශ්‍යතා සඳහා ද මෙම රෝහලෙන් සේවා සැපයේ.

සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන්, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.