නාවික හමුදා වෛද්‍ය පහසුකම් මගින් විදෙස් ජාතික රෝගියෙකුට ප්‍රතිකාර

ජනවාරී 31, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ‘Decompression Sickness’ නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතිකයෙකුට සාර්ථකව ප්‍රතිකාර කරන ලදී.
ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ කිමිදෙමින් සිටි ජර්මානු ජාතික කාන්තාවක් මෙම රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටියදි ජනවාරි 28 වන දින ත්‍රිකුණාමලයේ නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇත.

නැගෙනහිර නාවික විධානයෙහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත නැවත සම්පීඩන කුටීරය වෙත යොමුකර රෝගියාට ප්‍රතිකාර ලබා දී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

පැය 5 කට ආසන්න කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු සුවය ලැබූ ජර්මානු ජාතික කාන්තාව රෝහලෙන් පිටව ගිය බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

තවද, ත්‍රිකුණාමලයේ ස්ථාපිත නාවික හමුදා සම්පීඩන කුටීරය තුළ ‘Decompression Sickness’ නැමති රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් කීපදෙනෙකු වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ඇති බව එහි සඳහන් වේ.

Sinhala.