ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා යුද හමුදා
සෙබළියන් ඇතුලත් කණ්ඩායමක්

ජනවාරී 31, 2022

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත යුද හමුදා පාබල හමුදා කණ්ඩායමේ විසිර යාමේ පෙළපාලිය ඊයේ (ජනවාරි 30) දින පනාගොඩ පිහිටි පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගිත්වයෙන් සිදු විය.

යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළුන්ගෙන්ද සමන්විත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා යාමට නියමිත 13වන කණ්ඩායම නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 115 දෙනෙකුගෙන් සමන්විත බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

යුද හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් හත් දෙනෙකු ඇතුලත්ව ලෙබනනය බලා පිටත්ව යන පළමු කණ්ඩායම මෙය බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

මෙදින පැවති පෙළපාලියේදී එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා විසින් ජාතික ධජය, යුද හමුදා ධජය, එක්සත් ජාතීන්ගේ ධජය සහ ශ්‍රී ලංකා පාබල හමුදා ධජය නිල වශයෙන් මෙම භට පිරිස් වෙත භාර දුන් බව ද යුද හමුදාව ප්‍රකාශ කළේය.

මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.