නිදහස් දින පෙරහුරු කටයුතු ආරක්‍ෂක ලේකම්ගේ අධීක්‍ෂණයට

පෙබරවාරි 02, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 2) උදෑසන නිදහස් චතුරශ්‍රයේදී ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු අධීක්‍ෂණය කළේය.

ජෙනරල් ගුණරත්න ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද කැටුව, ත්‍රිවිධ හමුදා පෙළපාලිය, සන්නද්ධ රථ, ආයුධ හා ආකෘති, සංස්කෘතික අංග, ආසන සූදානම් කිරීම් සහ සෞඛ්‍ය ආරක්‍ෂක විධිවිධාන ආදි මෙම ජාතික උත්සවය සඳහා වන සියලු කටයුතු පිලිබඳව සොයාබලා පසුව පැවති සාකච්ඡාවේදී ඒ සඳහා අවැසි උපදෙස් ලබා දීම සිදුකරන ලදී.

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික), රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සංවිධායක කමිටු සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ සඳහා සහභාගි විය.