රණක්ෂිතයට පත් රණවිරුවනට කෘතිම අත් පා ලබාදීමේ වැඩසටහනක්

පෙබරවාරි 08, 2022

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණක්ෂිතයට රණවිරුවන් වෙනුවෙන් කෘත්‍රීම අත් සහ පාද සැකසීමේ ව්‍යාපෘතියක් යුද හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානක් වන රාගම රණවිරු සෙවණේ දී පසුගියදා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් හා මගපෙන්වීම මත රණවිරු සේවා අධිකාරියේ පූර්ණ සම්බන්ධීකරණයෙන් පුරා දින තිස් පහකදී පැවැත්වෙන මෙම වැඩසටහන මගින් රණක්ෂිතයට පත් රණවිරුවන් 600 කට ආසන්න ප්‍රමාණයකට සෙත සැලසෙනු ඇත.

ඉන්දියානු රජයේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් ජායීපූරිහි භගවන් මහාවීර් සහායත සමිති විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය ලබාදී ඇති බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමන් සහ ඉන්දියානු මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රණක්ෂිතයට පත් රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් සහභාගි විය.