නව පකිස්ථාන මහකොමසාරිස් සහ ආරක්‍ෂක ලේකම් අතර සාකච්ඡාවක්

පෙබරවාරි 11, 2022

අභිනවයෙන් පත් ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස්, අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) අද (පෙබරවාරි 11) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
 
උණුසුම් පිළිගැනීමකින් අනතුරුව ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න නව මහ කොමසාරිස් මේජර් ජෙනරල් බුර්කි සමග සුහද සාකච්ඡාවක් පැවැත්විය.

මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික වැදගත් අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙහිදී ජෙනරල් ගුණරත්න අභිනවයෙන් පත් වූ මහ කොමසාරිස්වරයා වෙත සිය සුභාශිංසන පිරිනැමූ අතර ඉදිරි කටයුතු සඳහා තම පූර්ණ සහයෝගය ලබා දීමට ප්‍රතිඥා දුන්නේය.

මේජර් ජෙනරල් බුර්කි, 2022 පෙබරවාරි මස 1 වැනි දින කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අක්තපත්‍ර භාරදීම සිදුකරන ලදී.

මෙම ප්‍රථම නිල හමුව සංකේතවත් කිරීම සඳහා ආරක්‍ෂක ලේකම්වරයා සහ පකිස්ථාන මහ කොමසාරිස්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ අතර ආරක්‍ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයට අදාළව ඔහු විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් ද පිළිගැන්වීය.

කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාව පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් ද මෙම අවස්ථාවට සහභගි විය.