තවත් රණවිරු පවුල් සාමාජිකයින් සඳහා සහන සැලසේ

පෙබරවාරි 14, 2022

යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර රණක්ෂිතයට පත් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සැරයන් එච්.එමි.එන්. බංඩාර රණවිරුවා හට සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීම සඳහා මුදල් පරිත්‍යාගයක් ලබාදීම මෑතකදී සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ව්‍යාපාරිකයකු වන සුරත් දිසානායක මහතා විසින් රු. 78000.00ක මුදලක් මේ සඳහා පරිත්‍යාග කල බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම් වෙහෙර රණවිරු ගම්මානයේ පදිංචි විශ්‍රාමික රණවිරුවකු වන එස්.විජේමුනි මහතාගේ පුතුන් වන එස්. කාවින්ද නිස්සර දරුවා වෙත සංගීත භාණ්ඩයක් ලබා දී ඇත.

සංගිත භාණ්ඩ වාදනය කිරීමට දක්ෂතාවයක් ඇති විශේෂ අවශ්‍යතා සහිත එම දරුවා වෙත රණවිරු සේවා අධිකාරියේ උපසභාපතිතුමියගේ අනුග්‍රහයෙන් මෙම පරිත්‍යාගය ලබාදීමට කටයුතු කර ඇත.

තවද, රණක්ෂිතයට පත් රණවිරුවෙකුගේ දියණියක් වෙත ඇයගේ අධ්‍යාපනය සඳහා අත්වැලක් වෙමින් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ලබාදීම පසුගියදා රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයෙදී සිදු කරන ලදී.

ප්‍රවීණ බැංකුකරුවකු සහ වෘත්තීය ගණකාධිකාරිවරයෙකු වන ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් රචිත අමරණීය සොල්දාදුවන් 32 (32 Immortal Soldiers) කෘති අලෙවියෙන් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද කතෘ ආදායම උපයෝගී කරගනිමින් මෙම ලැප්ටොප් යන්ත්‍රය මිලදී ගෙන ඇති බව රණ විරුසේවා අධිකාරිය පවසයි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ආරාධනයෙන් ප්‍රසාද් පොල්වත්ත මහතා විසින් එම දියණිය වෙත මෙම පරිගණක යන්ත්‍රය ප්‍රදානය කිරීම සිදුවිය.

ඉදිරියේදී මෙම පොත් අලෙවියෙන් ලැබෙන කතෘ ආදායමද මේ ආකාරයෙන්ම රණවිරු පවුල්වල සුබසාධනය උදෙසා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පොල්වත්ත මහතා මෙහිදී පැවසිය.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික් මුස්ලිම් රණවිරු පවුල්වල සාමාජිකයින් වෙත පොල් පැල ලබාදීමේ වැඩසටහනක් පසුගියදා වාලච්චෙන පොලිස් ස්ථානයේදී පැවැත්විය.

"විරු දෑතට කප්රුකක් " යන තේමාව යටතේ 74 වන නිදහස් දිනට සමගාමීව රණවිරු ප්‍රජාව සදහා පොල් පැල ලබාදීමේ වැඩසටහන යටතේ මෙය පවත්වා ඇත.