ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කලාපීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවක

පෙබරවාරි 17, 2022

ඕස්ට්‍රේලියාවේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ගෝලීය කටයුතු පිළිබඳ ශාඛාවේ සහකාර ලේකම් ටොම් මෙනාඩුයි මහතා අද (පෙබ 17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හෝලි මැතිතුමාද ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරියා සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණෙන ලදි.

ඕස්ට්‍රේලියානු දූත පිරිස ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඉන්දීය සාගර කලාපයේ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම, දෙරට අතර කලාපීය ආරක්‍ෂාව සහ ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු කලාපීය අවශ්‍යතා පිළිබඳ කරුණු මෙම සැසියේදී අවධානයට ලක්විය.

තවද, ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.

ආරක්‍ෂක ලේකම් විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නිලධාරියා සමඟ සමරු තිළිණ හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.