ගුරුවරුන් සමාජයේ නිර්මාණකරුවන් - ආරක්‍ෂක ලේකම්

පෙබරවාරි 20, 2022

ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා බුද්ධිමත් හා යහපත් අනාගත ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට පාසල් ගුරුවරුන් විශාල කාර්යභාරයක් ඉටු කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.

 “ගුරුවරුන් යනු සමාජයේ නිර්මාණකරුවන් ය. ඔබගේ ඉගැන්වීම් සහ මගපෙන්වීම් තුලින් නිර්මාණය වන සිසු දරු කැළ හරහා සමාජය තුළ විවිධ පැතිකඩයන් නිර්මාණය වනු ඇත.” යනුවෙන් ඔහු පැවසීය.

ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේ අද (20) දින මහරගම ජනාධිපති විද්‍යාල පරිශ්‍රයේ ඉදිකරන ලද ‘ගුරු-සිසු-රණවිරු ස්මාරකය’ නිරාවරණය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ සංකල්පයකට අනුව පාසලේ ආදි ශිෂ්‍යයින්ගේ දැඩි කැපවීම තුලින් කරන ලද නිර්මාණය අගයමින්, “රණවිරුවෙක්, ගුරුවරයෙක් සහ සිසුවෙක් එක්ව ජාතික ධජය ඉහළට ඔසවා තැබීමට දරන උත්සාහය මෙම ස්මාරකයෙන් පෙන්නුම් කරයි” යනුවෙන් ඔහු පැවසීය.

ත්‍රස්ත ග්‍රහණයෙන් රට මුදාගෙන, ඔබ සැමට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි කරදරවලින් තොර සාමකාමී සමාජයක් අප නිර්මාණය කර ඇති බව යුද සමයේ සියලු දුෂ්කරතා සිහිපත් කරමින් ඔහු සිසුන් වෙත අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාම මේ ජාතියට, එහි ජනතාවට සහ අනාගත පරපුරේ උන්නතිය සඳහා සේවය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රාදේශීය පාසල්වල තදබදයට විසඳුමක් ලෙස මහරගම කීර්තිමත් දේශපාලනඥයෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගරු ප්‍රේමරත්න ගුණසේකර මහතාගේ යෝජනාවකට අනුව මහරගම ජනාධිපති විද්‍යාලය 1978 පෙබරවාරි 18 දින ජාතික පාසලක් ලෙස පිහිටුවන ලදී. එය ආරම්භයේදී මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ කරන ලදී.

පාසලේ විදුහල්පති කපිතාන් ඩබ්ලිව් වසන්ත කුමාර, ගරු. ප්‍රේමරත්න ගුණසේකර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්, යුද හමුදා නිලධාරීන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.