රණක්ෂිත රණවිරුවන් සවිබලගැන්වීම අරමුණු කරගත් විද්‍යුත් යතුරු පැදි ප්‍රධානය ඇතුගල්පුර දී

පෙබරවාරි 22, 2022

වයඹ පළාත තුල ජීවත් වන රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ප්‍රදානය කිරීමේ තවත් වැඩසටහනක් රණව්රු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි මස 15 වැනිදා දින කුරුණෑගල පිහිටි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට අයත් ලිච්චවී ශාලාවේ දී පැවැත්වීය.

රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සාම්ප්‍රදායික සුබසාධන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 6 ක්, ආබාධිත සහයක උපකරණ කට්ටල ප්‍රදානය මෙම අවස්ථාවේදී සිදුවිය.

ඉතිහාසයේ කවරදාකටත් වඩා රණවිරුවන්ගේ අනාගතය ගැන සිතමින් ඔවුන් සවිබල ගැන්වීම උදෙසා විශේෂ ව්‍යාපෘතීන් සිදු කිරීම කෙරෙහි රණව්රු සේවා අධිකාරියේ අවධානය යොමුකර ඇති බව සභාපතිතුමන් විසින් පවසන ලදී.

මිලියන 170කට වැඩි මුදලක් ආයෝජනය කරමින් රණවිරු සුබසාධනය උදෙසා මිලදී ගෙන ඇති මෙම විද්‍යුත් ආරෝපිත යතුරු පැදි භාවිතා කරමින් කිලෝමීටර 50ක පමණ දුරක් ධාවනය කළ හැකි අතර මෙය සම්පූර්ණයෙන් ආරෝපණය කිරීම සඳහා රුපියල් 10ක මුදලක් පමණක් වැයවේ.

එමෙන්ම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 30 කි.

මේ තුළින් නිවෙස් තුළට කොටු වී තවත් කෙනෙකුගේ සහය මත කටයුතු කළ අපගේ රණවිරුවන් හට තම දෛනික ජීවිතයේ අවශ්‍ය පුද්ගලික ගමන් බිමන් ඉතා පහසුවෙන් සිදුකරගත හැකි වීම විශේෂත්වයකි.

සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව එක් රාමුවකට කොටුවී සිටින රක්ෂිතයට පත් රණවිරුවන් එම රාමුවෙන් ඔබ්බට ගෙන යෑම සඳහා සිදු කරන චින්තන විප්ලවයක තවත් අදියරක් ලෙස මෙම විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය සැලකිය හැක.

රජයක් විසින් රණවිරු සේවා අධිකාරිය ආරම්භයේ සිට රණවිරු සුබසාධනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය වන රුපියල් මිලියන 750ක් වෙන් කරන ලද්දේ පසුගිය වර්ෂයේ අයවැයෙනි.

ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප හිමි ගැන්වීම ඇතුළු මෙවැනි සුබසාධන ව්‍යාපෘතීන් සමස්ත රණවිරු ප්‍රජාව හට සිදු කිරීමට තමන්ට හැකි වූයේ වර්තමාන ජනාධිපතිතුමන් සහ ආරක්ෂක ලේකම්තුමන් රණවිරුවන්ගේ දුක හඳුනන හිටපු හමුදා නායකයින් වීම බව සභාපතිතුමන් විසින් තවදුරටත් ප්‍රකාශ කළේය.

රණව්රු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක, සභාපති තුමන්ගේ ජ්‍යෙෂ්ඨ පුද්ගලික සහකාර නිලධාරී, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, භාග්‍ය ගමගේ, කුරුණෑගල දිස්ත්‍රික්ක නිලධාරී, සත්සර පතිරාජ ඇතුළු රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.

අනුග්‍රහය - www.ranaviruseva.gov.lk