වැලිවිටියේ සුමන නාහිමි සම්භාවනා පූජෝත්සවය ආරක්ෂක ලේකම්ගේ සහභාගිත්වයෙන්

පෙබරවාරි 27, 2022
  • දීඝවාපි ස්ථුපය ප්‍රතිසංස්කරණයෙන් පසු 2023 පොසොන් පොහොය දින බැතිමතුන්ගේ අයිතියට පත් කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

පූජ්‍ය වැලිවිටියේ සුමන නාහිමි “උපාධ්‍යාය” උතුම් ශාසනික පදවියෙන් පිදුම් ලැබීමේ උත්සවය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගිත්වයෙන් අද (පෙබ 27) දින පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුරයේ ඉදිකරන ලද සඳහිරු සෑය මහා සංඝරත්නය වෙත භාරකර ඇති අතර මේ වනවිට දීඝවාපිය සෑය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන අතර 2023 පොසොන් පොහොය දිනය වනවිට බැතිමතුන්ගේ අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බව අද සවස පැවති මෙම උත්සවයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.

බද්දේගම ගනේගම දුටුගැමුණු රජමහා විහාරස්ථානයේ පැවති මෙම උත්සවයේදී පූජ්‍ය වැලිවිටියේ සුමන නාහිමි වෙත “විජිනි පත“ පිළිගැන්වීම ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිදු කරන ලදී.

අස්ගිරි මහා විහාර පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අතිපුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් විසින් මෙහි අනුශාසනාව සිදුකරන ලදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජෙනරල් ගුණරත්න, ආගමික ප්‍රබෝධය සහ සමාජ සවිබල ගැන්වීම සඳහා පූජ්‍ය නාහිමියන් විසින් සිදු කරන ලද සේවාවන් රාශියක් පිළිබඳව සඳහන් කළ අතර බොහෝ පිරිස් උන්වහන්සේගේ සේවය විශාල වශයෙන් අගය කරන බවද පැවසීය.

ගනේගම සුනාමි නිවාස යෝජනා ක්‍රමය සහ ශ්‍රී සරණංකර අභ්‍යාස මධ්‍යස්ථානය උන් වහන්සේ විසින් සිදු කරන ලද එවැනි විශිෂ්ඨ ව්‍යාපෘති අතරට එක්වන අතර උන්වහන්සේ ග්‍රන්ථ රැසක් රචනා කර ඇති දක්‍ෂ ලේඛකයකු ද වන බව සඳහන් කරන ලදී.

ලාහුගල නීලගිරි විහාරය සහ මිහින්තලේ මහා සෑය ප්‍රතිසංස්කරණය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති පිළිබඳව ද ආරක්ෂක ලේකම් මෙහිදී සඳහන් කරන ලදී.

පූජනීය මහා සංඝරත්නය, ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.