ඉන්දීය නාවික හමුදා නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

මාර්තු 01, 2022

ඉන්දීය නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන ‘නිරීක්ක්‍ෂාක්’ (INS NIREEKSHAK) නෞකාව සඳුදා (පෙබ 28) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

දිගින් මීටර 70.5ක් හා 107ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත මෙම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් මොහාමඩ් ඉක්රාම් කටයුතු කරනු ලබයි.

මෙම නෞකාවේ අණදෙන නිලධාරී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් අතර හමුවක් සඳුදා දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවැත්වුනු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ද සහභාගී වූ බව වැඩිදුරටත් සඳහන් වේ.

මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ කිමිදුම් අභ්‍යාස කිහිපයකට මෙන්ම දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතයි.

මෙම නෞකාව මාර්තු මස 8 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, මෙම නෞකාව හා සම්බන්ධ කටයුතු පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලබන බව නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.