ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 12වන සංවත්සරය සැමරීම

මාර්තු 02, 2022

වර්ෂ 2009 අංක 41 දරණ වෙරළ ආරක්ෂක පනත මගින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වර්ෂ 2010 මාර්තු මස 4 වන දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ගාලු වරාය පරිශ්‍රයේ දී උත්සවශ්‍රීයෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද අතර වර්ෂ 2022 මාර්තු මස 04 වන දිනට සිය 12 වන සංවත්සරය සමරණු ලබයි.

දෙපාර්තමේන්තුවේ 6 වන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස රියර් අද්මිරාල් අනුර ඒකනායක ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා වර්තමානයේ අධ්‍යක්ෂක ධුරය හොබවන අතර ද්විතියික පදනම මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් තාවකාලිකව අනුයුක්ත කරන ලද නිලධාරීන් මෙන්ම වෙරළ ආරක්ෂක පුද්ගලයින් එතුමාගේ සෘජු නායකත්වය හා අධීක්ෂණය යටතේ සමුද්‍රිය නීතිය ක්‍රියාත්මක කිරීම හා බලපැවැත්වීම උදෙසා ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ ආරක්ෂක ස්ථානගත කිරීම්, වෙරළ ආරක්ෂක උප ස්ථානගත කිරීම් හා දිවයින වටා පිහිටා ඇති ප්‍රධාන ධීවර වරායන් විසි හතරක් සඳහා අනුයුත්තව සිය රාජකාරීන් සිදුකරනු ලබයි. තවද දිවයින වටා ස්ථාපනය කොට ඇති ජීවිතාරක්ෂක මුර කුටි 18ක් සඳහාද වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂක පුද්ගලයින් වර්තමානය වන විට අනුයුක්තකර ඇත.

සාගර සම්පත් සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් මනා ලෙස කළමනාකරණය කොට නීතිය ක්‍රියාත්මක කිරීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත මගින් ශ්‍රී ලංකා වෙරළා ආරක්ෂක දෙපාර්තමේන්තුවට බලය පවරා දී ඇත. සමුද්‍රීය කොල්ලකෑම්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධි අවිධිමත් සහ වාර්තා නොවු මත්ස්‍ය ඇල්ලීම් කටයුතු, නීති විරෝධී භාණ්ඩ ජාවාරම් මැඩ පැවැත්වීම හා මහ සයුරේ සිදුවන මිනිස් ජීවිත සහ දේපල වලට වන හානිය අවම කිරීම සුරක්ෂිතභාවය තහවුරු කිරීම නෞකා ආපදාවලදී අවශ්‍ය සහාය ලබාදීම සමුද්‍ර දූෂණය වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම වෙරළ තීරය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම ස්වභාවික උපද්‍රව වල දී මහජනයාට සහාය වීම යන කාර්යභාරයන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු වගකීම් අතර ප්‍රධාන තැනක් උසුලයි.

මෙයට අමතරව අවස්ථානුරූපීව දේශීය ආයතන හා සම්බන්ධීකරණය වීම තුළින් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ හා ඒ අවට මුහුදු ප්‍රදේශවල සිදුවන සිදුවීම් කළමනාකරණය කිරීම් ද මෙම දෙපාර්තමේන්තුව සතු වගකීම් අතර ගොනු කරනු ලබයි. ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සන්නද්ධ හමුදා සේවාවක් ලෙස වර්ගීකරණය නොකරන අතර සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වර්තමානය වන විට රට තුළ පිහිටා ඇති ප්‍රධානම ආයතනයක් ලෙස කටයුතු කරනු ලබයි.

වේගමුර යාත්‍රා කිහිපයකින් ආරම්භ වු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු නෞකා සහ යත්‍රා බලඇණිය ගැඹුරු මුහුදු නිරික්‍ෂණ නෞකා 2 කින් සහ වේගමුර නෞකා 2 කින් වේගමුර යාත්‍රා 10 කින් වෙරලබඩ මුර යාත්‍රා සහ වරාය ආරක්‍ෂක යාත්‍රා කිපයකින් ශක්තිමත් වි ඇත.

ශ්‍රි ලංකාවේ මුහුදු සීමාවේ හෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන්හි බොරතෙල් කාන්දු වීමක් සිදුවන අවස්ථාවන් වලදී ජාතික තෙල් කාන්දුවීම් පිළිබඳ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ බලය හා වගකීම වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරි ඇති අතර එසේම ඊට මුහුණ දීම සඳහා මනා පුහුණුවකින් යුත් නිලධාරීන් කණ්ඩායමක් සහ ඊට අවශ්‍ය කරන උපකරණ දිවයින පුරා ඇති ප්‍රධාන වරායන් ආශ්‍රිතව ස්ථානගත කර ඇත. මෑත කාලයේදි සිදුවු එවැනි අවස්ථා රැසක් සාර්ථකව කළමනාකරණය කිරීමට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හැකිවීය. උදාහරණයක් වශයෙන් එක්ස්ප්‍රස් පර්ල් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අනතුරින් සහ නිව් ඩයමන්ඩ් නැමැති තෙල් ප්‍රවාහන නෞකාවේ අනතුරින් සිදුවූ තෙල් විසිරීම පාලනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය අතිමහත්ය.

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සැලසීම උදෙසා බළපිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇති වෙරළ ආරක්ෂක ජීවිතාරක්ෂක පුහුණු පාසල මගින් ජාත්‍යන්තර මට්ටමේ ජීවිතාරක්ෂාව පිළිබඳ පුහුණු පාඨමාලාවන් පවත්වාගෙන යනු ලබන අතර වෙරළ ආරක්ෂක පුද්ගලයින්ට පමණක් සීමා නොවී අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයින් විශ්වවිද්‍යාල සිසුන් සහ සිවිල් පුද්ගලයින් සඳහා ද පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දී ඇත. ගංවතුර නායයාම් ආපදාවන්හිදී මහජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කිරීම ආදී වැදගත් සමාජ මෙහෙවරයන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉටුකරනු ලබන ජාතික මෙහෙවර ඇගයීමක් වශයෙන්, 2022 වසරේදී ප්‍රථම වරට 74 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලියට එක්වීමටද අවස්ථාව උදාවිය.

මෙසේ මතු පරපුර උදෙසා සමුද්‍රීය පරිසරය රැකගැනීම දෙපාර්තමේන්තුව සතු කාර්යය සමුදායන් වලින් ප්‍රමුඛ කාර්යයක් වන අතර මතු පරපුර වෙනුවෙන් කාර්යය ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකායන අරමුණයි.