බලංගොඩ රණවිරු පවුල් නවයකට සින්නක්කර ඔප්පු ප්‍රදානය කෙරේ

මාර්තු 02, 2022

ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන L.K කුසුමාවතී මහත්මිය විසින් තම මියගිය ස්වාමිපුරුෂයාට පිං පිණිස තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද රෑඩ් දෙකයි පර්චස් 38 ක ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි නමයක් ආබාධිත රණවිරුවන් 8 දෙනෙකුට සහ මියගිය රණවිරුවෙකුගේ මවකට ලබා දීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බලංගොඩ රණවිරු ගම්මානයේ දී පවත්වන ලදී.

මෙහිදී සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ ප්‍රදේශයේ, මැදකොරලේ හෙල උඩපත්තුවේ, අංක 254, පහල මස්සැන්න බලංගොඩ ග්‍රාම සේවා වසම තුල පිහිටි අබේසිංහ හේන හෙවත් විලේගොඩ කෑල්ල ඉඩම ( රෑඩ් දෙකයි පර්චස් 38 ක) තාවකාලිත බලපත්‍ර මගින් පදිංචිය සඳහා රණවිරු පවුල් නමයක් සඳහා ලබාදී තිබුණි. මෙම ඉඩම් වල පදිංචිකරුවන් සඳහා සින්නක්කර ඔප්පු ලබා දීම මෙහිදී සිදු කරන ලදී.

මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ ඉඩම් අංශයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව පහත සඳහන් රණවිරු පවුල් 09 සඳහා සින්නක්කර ඔප්පු අත්සන් කර පවරා දීමේ කටයුතු මෙහිදී සිදු කරන ලදී.

අසමානලාගේ නිමල් විජේරත්න

මාරත්තොට ගමඇතිරාළගේ තිලක් විජේනායක

විජේතුංග මුදියන්සේලාගේ චන්ද්‍ර මාර අබේසිංහ බණ්ඩාර

රත්නායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රත්නායක

ඩි.එම්.කුමාරසිරි

කුලතුංග මුදියන්සේලාගේ නිශාන්ත කුමාර බණ්ඩාර

උදුල්ලගේ සුසන්ත මුණසිංහ

පේරකැටිය මාධව නන්දසිරි අතුල

කොබ්බෑවින්න මනන්නලාගේ වික්‍රමරත්න

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක, සභාපතිතුමන්ගේ ජ්‍යෙෂ්ඨ පුද්ගලික සහකාර නිලධාරි, බ්‍රිගේඩියර් රෝෂන් තිරිමාන්න, රණව්රු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ, රෝහණ විජයරත්න, රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී, ගයාන් විජේවික්‍රම ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.