සඳහිරු සෑ පරිශ්‍රයේ අටවිසි බුද්ධ ප්‍රතිමා නිරාවරණය කෙරේ

මාර්තු 05, 2022

අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේ අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 5) සවස පැවැති උත්සවයකදී සිදු කෙරිණි.

නා උයන ආරණ්‍යය සේනාසනයේ සිට ආගමික පෙරහැරකින් සඳහිරු සෑය පරිශ්‍රය වෙත අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඊයේ වැඩම කරවීම සිදු වූ අතර, අද දින පැවති උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාපතිවරු ද ආරක්‍ෂක ලේකම්වරයා සමඟ එක් වූහ.

බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමෙන් පසු අටවිසි බුද්ධ පුජා සහ බෝධි වන්දනා කටයුතු සිදුකල අතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.

මහා සංඝරත්නය ඇතුළු සියලුම ආරාධිතයින් පිලිගනිමින් උත්සවයේ පිළිගැනීමේ කතාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිදු කරන ලදී.

සඳහිරු සෑයට යාබදව ඉදිකරන ලද බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා අද උදෑසන සුබ මොහොතින් නිරාවරණය කර ලෝකවාසී බැතිමතුන් වෙත පූජා කිරීම ද අද දින සිදු විය.

අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා 300නමක්, ආරාධිතයන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

නා උයන ආරණ්‍යය සේනාසනාධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද හිමියන් විසින් අනුශාසනා සිදු කරන ලදී.

අද උදෑසන සංවිධානය කර තිබූ උත්සවයේදී ජෙනරල් ගුණරත්න මහතා පැවසුවේ සඳහිරු සෑ බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර නිර්මාණය කර ඇති බවයි.

පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍යය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සඳහිරු සෑ රදුන් ඉදිකිරීම සිදු කළ බව වැඩිදුරටත් සඳහන් කළ ජෙනරල් ගුණරත්න රටට සාමය උදා කිරීම පිණිස රණවිරුවන් විසින් කරන ලද මහත් කැපකිරීම් සිහිපත් කළේය.

මෙහිදී අනුශාසනාවක් සිදු කළ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් රටට සාමය උදා කිරීම සඳහා අසීමිත දායකත්වයක් දැක්වු සියලු පාර්ශවයන් සම්බන්ධයෙන් මෙන්ම සඳහිරු මහා සෑ පුදබිමේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමාවන්හි වැදගත්කම පිළිබඳව සැදැහැවතුන් දැනුවත් කළහ.

රටට සාමය උදාකරලීමට මහඟු සේවයක් ඉටු කරන ලද රණවිරුවන් හට කරන ලද ඉහළම උපහාරය ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මීට මාස කිහිපයකට පෙර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ආරාධනයෙන් අනුරාධපුරයේදී සංවිධානය කර තිබූ ආගමික උත්සවයකදී සඳහිරු සෑය මහා සංඝරත්නය වෙත පූජා කරන ලදී.

අද උදෑසන පැවති උත්සවයෙන් අනතුරුව එම පරිශ්‍රයේ ප්‍රගතිය දැක බලා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද එම ස්ථානයට පැමිණියේය. ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සමඟ පැමිණ පුදබිමේ ඉදිරි කටයුතු පිළිබඳව දැනුවත් කළේය.

අද පැවති උත්සව අවස්ථාවන් සඳහා ගරුතර මහා සංඝරත්නය, රජයේ මැති ඇමතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, රාජ්‍ය නිලධාරීන් සහ සැදැහැවත්හු එක්ව සිටියහ.