කෘතිම අත් පා ලබා දීම සඳහා භගවාන් මහාවීර් විකලාංග සහයක සමිති ආයතනය ගෙන ඇති ක්‍රියාමාර්ග ආරක්‍ෂක ලේකම්ගේ පැසසුමට

මාර්තු 07, 2022

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත කෘත්‍රිම අත් පා ලබාදීම සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය අද (මාර්තු 07) රාගම රණවිරු සෙවණේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන්ට පහසුකම් සැලසීම සඳහා දින 35ක් පුරා පැවති මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ, ඉන්දියාවේ ජායිපූර්හි ශ්‍රී භගවාන් මහාවීර් විකලාංග සහය සමිති ආයතනය මගින් පවත්වන ලදි.

ජායිපූර්හි භගවාන් මහාවීර් විකලාංග සහාය සමිති ආයතනය 1975 හි ආරම්භ කර ඇති අතර, පුද්ගලයින් සඳහා කෘතිම අත් පා සහ ඒ ආශ්‍රිත වෙනත් සහන සැපයීම සම්බන්ධයෙන් ලොව විශාලතම සංවිධානය ලෙසද සැලකේ.

උත්සව සභාව අමතමින් ආරක්‍ෂක ලේකම් සඳහන් කලේ, ජාතිය බේරා ගැනීම සඳහා ධෛර්ය සම්පන්නව කටයුතු කල නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට තම ආචාරය පුදකරන බවත් රටේ සාමය සමගිය හා ස්වෛරීභාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ හා ලේ, දහදිය සහ කඳුළු හෙලු මෙන්ම අතපය දන් දුන් අපේ ආදරණීය විරුවන්ට මුළු ජාතියේම ප්‍රණාමය පුද කළ යුතු බවයි.

මේ අතර, ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ඔවුන්ගේ යැපෙන්නන් සඳහා පසුගිය කාලය තුළ ප්‍රතිලාභ ලබාදෙමින් ආරම්භ කළ සුබසාධන ක්‍රියාමාර්ග පිළිබඳ සියල්ල ද සිහිපත් කළේය.

ඉන්දීය රජයේ සහය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දායක වූ සැමට තම හෘදයාංගම කෘතඥතාව පළ කළ ජෙනරල් ගුණරත්න, එය දෙරට අතර සුහදත්වය ප්‍රදර්ශනය කිරීමේ පියවරක් බවද පැවසීය.

ලොව පුරා බොහෝ ආබාධිත තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳින සියලුම පුද්ගලයින්ගේ ජීවිත සවිබල ගැන්වීම සඳහා භගවාන් මහාවීර් විකලාංග සහාය සමිති ආයතනයේ කැපවීම මෙහිදී ඔහු අගය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීනව පවත්නා මිත්‍ර සබඳතා පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ ඔහු, දෙරට අතර පවතින මෙම අන්‍යෙන්‍ය අවබෝධය, ඉන්දියන් සාගර කලාපයේ සාමය, ආරක්‍ෂාව සහ සහයෝගීතාවය පවත්වා ගැනීම මෙන්ම පොදු අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෑත අතීතයේ සිදු වූ බොහෝ අන්තර්ක්‍රියා හේතුවෙන් එය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවද සඳහන් කළේය.

උත්සවයේ කටයුතු අවසන් කරමින් ජෙනරල් ගුණරත්න විසින් භගවාන් මහාවීර් විකලාංග සහාය සමිති ආයතනයේ තාක්‍ෂණික විශේෂඥයින්ගේ මෙම විශිෂ්ඨ සේවාව අගය කිරීම සඳහා සමරු තිළිණ සහ සහතික පත් ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්දු - ශ්‍රී ලංකා සහෝදරත්වය ශක්තිමත් කරමින් ඉන්දීය රජයේ 75 වැනි නිදහස් දිනය සහ ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකායේ සහයෝගය ඇතිව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන පැවැත්විය.