“ගුවන් හමුදා පාපැදි සවාරිය 2022” සාර්ථකව අවසන් වේ.

මාර්තු 08, 2022

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන ලද “ගුවන් හමුදා පාපැදි සවාරිය 2022” අඛණ්ඩව 23 වැනි වරටත් පසුගිය මාර්තු 04 වැනිදා සිට මාර්තු 06 වැනිදා දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරන පරිදි, පිරිමි තරගය මාර්තු 04 සිට 06 දක්වා අදියර තුනකින් කිලෝමීටර් 412 ක දුරක් ආවරණය කරමින් පැවැත්වූ අතර එක්දින කාන්තා ඉසව්ව ඉරිදා මාර්තු 06 දින පුත්තලමේදී ආරම්භ වී කිලෝමීටර් 100ක දුරක් ගෙවමින් කටුනායකින් අවසන් විය.

පිරිමි අංශයේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ අවිශ්ක මැඩෝන්සා දිනාගත් අතර කණ්ඩායම් ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ පාපැදි කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් විය.

කාන්තා ඉසව්වේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ශාලිකා දිල්හානි තරගයේ ජය වාර්තා කල අතර එහි ශූරතාව දිනා ගත්තේද යුද හමුදා පාපැදි කණ්ඩායම විසින් බව ගුවන් හමුදා මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රමුඛතම පාපැදි සවාරියේ ජය සංකේත පිරිනැමීමේ උත්සවය කටුනායක “Eagle’s Lagoon View” උත්සව ශාලාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බව ද ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.