‘සත්විරු අභිමන්’ රණවිරු සුභසාධන වැඩසටහන සඳහා අතිගරු ජනපතිතුමන් සහභාගී වේ

ඔක්තෝම්බර් 19, 2018

යුද්ධයෙන් මියගිය, ආබාධිත සහ දැනට සේවයේ නියුතු රණවිරු පවුල්වලට රුපියල් මිලියන ගණනක ආධාර

ආරක්‍ෂක අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද "සත්විරු අභිමන්” රණවිරු සුභසාධන වැඩසටහන ඊයේ (ඔක් 18) නෙලුම් පොකුණ රඟහලේ දී පවතී අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගි විය.

ඊයේ සවස පැවති මෙම ව්‍යාපෘතිය මගින් ත්‍රිවිධ හමුදාවේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ, ආබාධිත තත්ත්වයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ ළමුන්, බිරින්දෑවරුන්, දෙමාපියන් සහ ලඟම ඥාතීන් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් වටිනා ප්‍රතිලාභ ප්‍රදානය කරන ලදී.

මෙම ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ආරම්භ කරමින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟින් සම්භාවනිය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලද අතර, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් මෙම ව්‍යාපෘතියේ සංකල්පය පිළිබඳව හැදින්වීමක් කරන ලදී.

‘මෙත් සෙවන’ අර්ධ නිවාස ව්‍යාපෘතිය (ජාතික ආරක්‍ෂක අරමුදල), 5 වසර ශිෂ්‍යත්වය සමත් සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ ළමුන් 278 දෙනෙකු සඳහා එකක් රු 25000 බැගි වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම (ජාතික ආරක්‍ෂක අරමුදල), සන්නද්ධ හමුදා සුබසාධන අංශය මඟින් රණවිරුවන් හට රජයේ ඉඩම් කොටස් ලබාදීම (ආරක්‍ෂක අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන), මෙමගින් සිදුකෙරිණි.

තවද ‘අපි වෙනුවෙන් අපි’ අර්ධ නිවාස ව්‍යාපෘතිය සහ ‘අපි වෙනුවෙන් අපි’ පූර්ණ නිවාස ව්‍යාපෘතින් (අපි වෙනුවෙන් අපි අරමුදල) මගින් නිවාස ඉදිකර ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාධන ලබාදීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමන් අතින් ප්‍රතිලාභීන් කිහිපදෙනෙකු සඳහා ප්‍රතිලාභ සහතිකපත් සංකේතාත්මකව ලබාදෙන ලදී. ඉන් අනතුරුව ප්‍රතිලාබින් 1262 කු සඳහා ඔවුන්ට හිමි ප්‍රතිලාභ සහතිකපත් ප්‍රධානය කරනු ලැබිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජේෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.