කොළඹ ආරක්‍ෂක සමුළුවේ පස්වන ජාතික ආරක්‍ෂක උපදේශක සමුළුව
මාලදිවයිනේ දී අවසන් වේ

මාර්තු 14, 2022

මාලදිවයින් ජනරජය විසින් සත්කාරකත්වය සපයන ලද පස්වන ජාතික ආරක්‍ෂක උපදේශක සමුළුව 2022 මාර්තු 09 සහ 10 යන දිනවල කොළඹ ආරක්‍ෂක සමුළුවේ ආරම්භක සාමාජිකයින් වන මාලදිවයින, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙන්ම සමුළුවේ නවතම සාමාජික රට වන මුරුසි දිවයිනේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. සමුළුවේ නිරීක්‍ෂකයින් ලෙස බංගලාදේශයේ සහ සීෂෙල්ස් හි නියෝජිතයින් සහභාගී විය.

පෙර වර්ෂවල සාර්ථක ත්‍රෛපාර්ශ්වික රැස්වීම් මාලාවන් පවත්වා ඇති අතර, අවසන් වරට පැවති 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක සමුළුව 2020 නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවේදී පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ ප්‍රථම ත්‍රෛපාර්ශ්වික රැස්වීම 2011 වර්ෂයේදී පැවැත්විණි.

මාලදිවයිනේ පැවති මෙම සමුළුව සඳහා සාමාජික රටවල් නියෝජනය කරමින් මාලදිවයින් ජනරජයේ ආරක්‍ෂක අමාත්‍ය මරියා අහ්මඩ් දිදී මැතිණිය, ඉන්දීය ජනරජයේ අගමැති ජාතික ආරක්‍ෂක උපදේශක අජිට් දොවාල් කේ.සී මැතිතුමා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමා සහ මුරුසි දිවයිනේ ජාතික ආරක්‍ෂක උපදේශක කුමරේසන් ඉලංගෝ මැතිතුමා සහභාගී වූහ.

බංගලාදේශ දූත පිරිස බංගලාදේශ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්‍ෂක උපදේශක තාරික් අහමඩ් සිද්දික් මැතිතුමා විසින් මෙහෙය වූ අතර, සීෂෙල්ස් ආරක්‍ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානී සයිමන් ආචේන්ජ් ඩයින් මැතිතුමා සීෂෙල්ස් රාජ්‍ය නියෝජනය කළේය.

රැස්වීම අමතමින් ජෙනරල් කමල් ගුණරත්න කොළඹ ආරක්‍ෂක සමුළුවට ශ්‍රී ලංකාවේ කැපවීම සහ පොදු ඉලක්ක හඹා යෑමේදී සක්‍රීයව පෙරමුණ ගැනීමේ අභිප්‍රාය යළි තහවුරු කළේය. සමුළුවේ ස්ථිර ලේකම් කාර්යාලයට ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙනු ඇත

පහත සඳහන් අංශ පහ තුළ කලාපීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර මෙම රැස්වීමේදී හඳුනා ගන්නා ලදි.

  • සමුද්‍රීය සුරක්‍ෂිතභාවය සහ ආරක්‍ෂාව
  • ත්‍රස්තවාදය සහ රැඩිකල්කරණයට එරෙහිව කටයුතු කිරීම
  • ජාවාරම් සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම
  • සයිබර් ආරක්‍ෂාව, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්‍ෂණ සුරක්‍ෂිතතාවය
  • මානුෂීය ආධාර සහ ආපදා සහන

මෙම සහයෝගීතා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවදුරටත් සහයෝගීතාව පවත්වාගෙන යාම සඳහා වන ඉදිරි සැලසුමක් සඳහා සාමාජික රටවල් එකඟතාවය පලකරන ලදි. සාමාජික රාජ්‍යයන් අතර සම්බන්ධීකරණ ප්‍රතිචාර ධාරිතාව ගොඩනැඟීම සහ තොරතුරු ප්‍රවාහය ශක්තිමත් කිරීම සඳහා මෙම සැලසුම ශක්තිමත් යාන්ත්‍රණයන්ට පහසුකම් සපයනු ඇත. සමුද්‍රීය අසල්වාසී රාජ්‍යයන් සමාන තර්ජනවලට මුහුණ දෙන බැවින්, කලාපීය සාමය සහ ආරක්‍ෂාව සාක්ෂාත් කරගැනීම සඳහා ස්ථාවර ඒකාබද්ධ ප්‍රයත්නයන් හී නියැලීමට සාමාජික රටවල කැපවීම සමුළුව මගින් නැවත තහවුරු කරන ලදි.