ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්යාලයේ වැඩ භාර ගනී

මාර්තු 16, 2022

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්යාලයේ වැඩ භාර ගැනීම අද (මාර්තු 16) දින අමාත්‍යාංශයේ පැවති චාම් කෙටි උත්සවයකදී මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදුකරන ලදී.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ආරක්‍ෂක මූලස්‌ථාන පරිශ්‍රයට පැමිණි ඇමැතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගෙන කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණු අතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අමාත්‍යතුමා නව කාර්යාලයේ වැඩභාර ගැනීම සිදු කරන ලදී. මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් මෙහිදී අනුශාසනාව පවත්වන ලදී.

සුබ මොහොතින් නව කාර්යාලයේ වැඩ භාරගැනීම සනිටුහන් කරමින් අමාත්‍යතුමන් විසින් සංකේතාත්මකව ලේඛනයකට අත්සන් තැබීමද මෙහිදී සිදුවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යංශය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් අමාත්‍යවරයාට සුබ පැතීමට මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වර්තමාන රජයේ වාරිමාර්ග අමාත්‍ය ධූරයද දරයි.