කාබනික වගාවේ තාක්ෂණික ක්‍රම භාවිතය පිලිබඳ රණවිරුවන්
දැනුවත් කිරීමේ වැඩසටහනක්

මාර්තු 18, 2022

රණවිරු සේවා අධිකාරියේ සංවිධානයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ළඟම ඥාතීන් සඳහා  කාබනික පොහොර භාවිතය, ගෙවතු වගාව, වී ගොවිතැන නගා සිටුවීම පිලිබඳ වැඩසටහනක් පසුගියදා ඇඹිලිපිටියෙදී පැවැත්විණි.

කාබනික වී වගාව, පොහොර භාවිතය සහ ගෙවතු වගාව තුලින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි සරල තාක්ෂණික ක්‍රම ඇතුළත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමද මෙම වැඩසටහන තුළින් සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ උපදෙස් අනුව වස විසෙන් තොර කාබනික ගොවිතැන සඳහා සමාජයට පූර්වාදර්ශයක් ලබාදිය හැකි ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර මේ සඳහා අවශ්‍ය සම්පත් දායකත්වය මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන බව රණවිරු සේවා අධිකාරිය පවසයි.

රණවිරු සේවා අධිකාරියේ ඇඹිලිපිටිය සංසද ලේකම් එන්. ඩි.එස් සුදර්ශනී මහත්මියගේ නිවසේදී පැවැත් වූ මෙම වැඩසටහන, රණවිරු සේවා අධිකාරියේ ව්‍යවසාය සංවර්ධන අංශයේ විශේෂ පුහුණු නිලධාරී කෝප්‍රල් සුමිත් කුමාර විසින් මෙහෙය වූ බවද ඔවුන්  වැඩිදුරටත් සඳහන් කරයි.

සබරගමුව පළාත් නියෝජ්‍ය  අධ්‍යක්ෂ රෝහණ විජේරත්න, රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී ගයාන් විජේවික්‍රම සහ ඇඹිලිපිටිය, කොළොන්න, ගොඩකවෙල රණවිරු සංසද සාමාජිකයන් 50 දෙනෙකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගි විය.