අපි වෙනුවෙන් අපි “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ජනපති අතින්

මැයි 10, 2017

මාතෘභුමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් 600 දෙනෙක් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මැයි 10) බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබිය. මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග විය.

මෙහිදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවුන පුර්ණ නිවාස 90ක, “සත්විරු සංහිඳ” ව්‍යාපෘතිය යටතේ ඉදිවුන අර්ධ නිවාස 503ක හිමිකම් ජනපතිතුමන් රණවිරුවන් වෙත පැවරීම සිදුවිය. දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා මෙම හිමිකම් සහතික හිමිවිය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමන් “අපේ රණවිරුවන්ගේ සුබසාධනය සඳහා විවිධ ව්‍යාපෘති කාර්යයන් රාශියක් ඉටුකෙරෙනවා. ඒ තුළ නිවාස ඉදිකරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබාදීම වගේම රණවිරු පවුල්වල සුභසාධනය වැනි කටයුතු සේවාවේ යෙදිසිටින හා විශ්‍රාමිකයන්ට හිමිවියයුතු වරප්‍රසාද ලබාදීම හා දීමනා ලබාදීම වැනි කටයුතු ගෙවුන වසර දෙකහමාරකට අධික කාලයක් සිදුකරනු ලැබූ අතර, මා ජනාධිපති ධුරයට පත්වීමට පෙර තිබූ වැඩසටහන් ඊට වඩා කාර්යක්‍ෂමව හා ශක්තිමත් කරමින් ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා අවශ්‍ය කටයුතු අපි රජය විදියට සොයාබලා ඉටුකරලා තියෙනවා. ඒ වගේම ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිය සේවාවේ ගුණාත්මකභාවය වැඩිකරගැනීම සඳහා අවශ්‍ය පුහුණුවීම් හා පහසුකම් සියල්ල වැඩිකරලා තියෙනවා. වැඩි වැඩියෙන් එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා අපේ රටේ ආරක්‍ෂක අංශ සාමාජිකයින් සඳහා පහසුකම් සලසා දී තිබෙනවා” යනුවෙන් පැවසු ජනපති තුමන්,

ඔබ විසින් කළ සේවය ඔබේත්, මගේත් උතුම් මාතෘභූමිය වෙනුවෙන් කිසිම දවසක මේ රටේ ජනතාවට අමතක කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ නිසා සැමවිටම ඔබට මේ ගෞරවය පුද කරන්නේ. මේ අඛණ්ඩව දෙන පහසුකම් වරප්‍රසාද වැඩි කරමින් අවශ්‍ය අඩුපාඩු සොයා බලමින් ඒ සඳහා රජයක් විදියට වගකීම් ඉටු කරමින් ඒ කාර්යයන් පිළිබඳ සැමවිටම ඉහළ වගකීමකින් ක්‍රියා කරන බව මෙහිදී සදහන් කරනවා. යනුවෙන් ද ප්‍රකාශ කළේය.

තවදුරටත් සිය අදහස් දක්වමින් “අපේ රටේ ඉදිරි අනාගතය සඳහා එක් පැත්තකින් ආර්ථීක සංවර්ධන, තවත් පැත්තකින් සාමකාමී නිදහස් සමාජය තවත් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ස්ථාපිත කිරීම ඒ වගේම අන්තර් ජාතික වශයෙන් සෑම රාජ්‍යයකම හොඳ හිත දිනාගැනීම ඒ තුළ අපේ රට දියුණු කිරීම මේ කියන කරණු පදනම් කර ගෙන අපි සැම විටම ක්‍රියා කරන්නේ” යනුවෙන් පැවසිය.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මැතිණිය, ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සහතික හිමිකම්පත් ලාභී රණවිරු පවුල් සාමාජිකයින් විශාල සංඛ්‍යාවක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.