ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

මාර්තු 28, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව සමඟ එක්ව මාර්තු 26 වන දින කොළඹට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් ආරම්භ කරන ලද අතර එය මාර්තු 29 දක්වා පැවැත්වේ.

ඉන්දිය නාවික නෞකා ‘ශර්ධා’ (INS SHARDA) නෞකාවට අයත් IN 715 දරණ Advance Light Helicopter වර්ගයේ හෙලිකොප්ටර් යානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මෙම ඒකාබද්ධ අභ්‍යාසයෙහි නිරතව සිටින අතර නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවීම, නැවත ගුවන් ගත කිරීම සහ සාගරික ගුවන් මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් යානා හා නෞකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස සිදු කෙරෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් පිරිසක්ද එක්ව සිටින බවත් නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දීය සාගර කලාපයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේදී මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම මෙන්ම ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර ද්වීපාර්ශවික සහයෝගීත්වය වර්ධනය කිරීමද මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය මඟින් අපේක්ෂා කෙරෙන බව නාවික හමුදාව පවසයි.

තවද, මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව විසඳුම් සෙවීමට හැකියාව ලැබෙනු ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.