ආරක්‍ෂක ලේකම් පාකිස්තානයේ 81 වැනි ජාතික දින සැමරුමට එක්වෙයි

මාර්තු 30, 2022

ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (මාර්තු 29) සවස පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී පාකිස්තානයේ 81 වන ජාතික දිනය සමරනු ලැබීය.

වෙළෙඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ද සහභාගී විය.

පාකිස්තාන මහ කොමසාරිස්වරයා මෙහිදී රැස්වීම අමතමින් දෙරට අතර දිගු කලක් පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සිහිපත් කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන, මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින්, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.