ආරක්‍ෂක ලේකම් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් විවෘත කරයි

මාර්තු 31, 2022

පොලොන්නරුව, මැදිරිගිරිය, කිඹුලාවල සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු කඳවුරු පරිශ්‍රයේ 'ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය' යටතේ ස්ථාපිත සියවැනි ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු යන්ත්‍රය ඊයේ (මාර්තු 30) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථානයේ පැවැති උත්සවයකදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතින් අන්තර්ජාලය ඔස්සේ විවෘත කෙරුණි.

මහමෙව්නා භාවනා අසපු සංචිතය, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පීඨයේ ඒකාබද්ධ ප්‍රයත්නයෙන් ‘ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය’ 2014 වසරේ දී ආරම්භ කරන ලදී. නිදන්ගත වකුගඩු රෝග බහුලව පවතින ප්‍රදේශවල වෙසෙන ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීම එහි අරමුණයි.

මෙහිදී කෙටි දේශනයක් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා මෙම වටිනා උත්සාහය අගය කළ අතර, අප ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් ජාතිය බේරාගත් බවත්, මෙවැනි රෝගාබාධවලට ගොදුරු වී ජනතාවගේ දීර්ඝායුෂ හීන වීම කණගාටුවට කරුණක් බවත් පැවසීය.

සේරුවිල මංගල රජමහා විහාරාධිපති සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අනුශාසක පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමි විසින් මහා සංඝරත්නය, ආරක්‍ෂක ලේකම්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික), රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් වී.එන්.කොස්වත්ත සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම ඇතුළු විශේෂ ආරාධිතයන් වෙත ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු ව්‍යාපෘතිය මගින් මේ වන විට පිරිසිදු පානීය ජලය ලීටර් මිලියන 110කට අධික ප්‍රමාණයක් ලබා දෙමින් ලක්ෂ පහකට අධික පිරිසකට සෙත සැලසී ඇත.